728x90 AdSpace

Latest News
Thursday, 28 January 2021

තම පියා, අම්මාව සාහසික ලෙස ඝාතනය කරනවා සියැසින් දුටු 10 හැවිරිදි දැරියකගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව

"අපි නාලා ඉවර වෙලා ගෙදර යන්න හදනකොට තාත්තා එතනට ආවා. තාත්තා ආවේ පිහියක් උලුක්කරගෙන දුවගෙනයි. එවිට අම්මා රෙදි බාල්දිය දාලා දිව්වා. අපිත් අම්මා පසු පස දුවගෙන ආවා. අම්මට දුවගන්න බැරුව සිරිපාල මාමාලගේ මිදුලේ වැටුණා.."
 
"අම්මා බිම වැටී දිගාවී තාත්තා අම්මගේ කොණ්ඩෙන් අල්ලාගෙන බෙල්ලට පිහියෙන් ඇන්නා. දෙපාරක් විතර අනිනවා මම දැක්කා. මෙන්න මිනීමරනවෝ.. බේරගනියෝ කියලා අම්මා කෑ ගැහුවා.."

"අම්මා කෑ ගහනකොට මමත් අම්මා ළඟට ගියා. එතකොට තාත්තා මට පයින් ගැහුවා. ඒ පාරට මාව බිම වැටුණා.."
 
එවකට දස හැවිරිදි වියේ පසු වූ දැරියක් තම පියාට විරුද්ධව එසේ සාක්ෂි දුන්නේ තම දෑස ඉදිරිපිට සිදුවූ ඝාතන සිද්ධිය ගැනයි. ඒ පියා විසින් පොල් කඩන පිහියෙන් ඇන මව ඝාතනය කිරීමයි.
 
දරුවෙකු කිසි දිනෙක දැකීමට අකැමැති එම කටුක අමිහිරි මතකයට මේ වන විට වසර අටක් ගත වී ගොසිනුයි. එහෙත් අපරාධකරුවෙකුට කිසි දිනෙක එයින් ගැලවීමක් නොමැති බව සනාථ කරමින් 2012 06 24 දින සිදු වූ මේ සිද්ධියේ චූදිත වූ ගොයිගොඩගමගේ තිලකරත්න යන අයට පසුගියදා තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලී මහතා විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.
 
වීරකැටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති මූලික නඩු විභාගයේදී ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔප්පු කිරීම හේතුවෙන් වසර අටකට පසුව මේ මරණ දඬුවම නියම කරනු ලැබුවා.
 
මොහු ඝාතනය කර තිබුනේ ඔහුගේ බිරිය වන කංකානම් ගමගේ නිරෝෂා මල්කාන්ති නම් එවකට තිස්තුන් හැවිරිදි වියේ පසු වූ තිදරු මවක්.
 
මැදගම, ගුරුගම්පලේ ගෙදර පදිංචිකාරියක වන ඇය මැදගම, මැදමුලන, වීරකැටිය ප්‍රදේශයට එන්නේ විවාහයෙන් පසුවයි. ඒ දාසය හැවිරිදි වියේදී යි.
 
එවකට හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ තිලකරත්න සමඟ ඇති කරගත් සම්බන්ධනතාවක ප්‍රතිඵලයක් ලෙස ඇය ඔහු විසින් තනා ගත් කුඩා නිවසට ගියේ දහසක් බලාපොරොත්තු මැදයි. තුන්වන ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ඔහු පොල් කැඩීම වෘත්තිය කරගත්තා.
 
ඔවුන්ගේ කැදැල්ලට දරුවන් තුන්දෙනෙකු ද එකතු වුණා.
 
සොච්චම් මුදලක් හම්බ කරන ඇඟ රත්කරගෙන ගෙදරට එන ඔහු නිරෝෂා සමඟ ගැටුම් ඇති කරගත්තා.
 
දරුවන් ලොකු මහත් වන විට නිවසේ ඇති වූ අඩදබර ටික ටික මඟ හැරී යෑම වෙනුවට ඒවා තවත් දරුණු වුණා.
 
ඔහුට වඩා දෙගුණයක් බලා බිරිය ගැන ඔහුගේ සිතේ තිබුණේ ඊරිෂ්‍යාව මුසු හැඟීමක්.
 
නිරෝෂාලගේ මෙම රණ්ඩු පොලිස් පොතට ගිය අවස්ථා තිබුණත් පොලිසියද මොවුන් සමාදාන කරන්න උත්සහ ගත්තා.
 
මෙසේ කුලගෙය ගිනිගෙයක් බවට පත් වෙද්දි නිරෝෂාට මොහු සමඟ තවදුරටත් තිබූ විශාල බරක් නිදහස් කරමිනුයි. දරුවන් පාසල් යවා ඇය උදෙන්ම එම ආයතනයට ගියේ ඔවුන්ට උයා පිහා දී කීයක් හෝ අතට ගැනීමේ බලාපොරොත්තුවෙනුයි.
 
දරු තිදෙනෙකුගේ මවක් වුවත් ඇහැට කණට පේන රූපයකට හිමිකම් කී නිරෝෂා ගැන ඔහුගේ සිතේ තවත් ඊරිෂ්‍යාව වර්ධනය වූයේ ඒ අතරයි.
 
ඒ 2012 06 24 වන දිනයි. නිරෝෂා මවගේ නිවසින් පිටත් වූයේ දවසේ වැඩ කටයුතු නිමා කර දිය නා ගැනීම සඳහා යි. මුරුතවෙල ජලාශයේ සිට එන ප්‍රධාන ඇළ මාර්ගය ගලා යන්නේ මැදමුලන මේ ප්‍රදේශයේ හරහා යි.
 
නිරෝෂා, සැමියා පදිංචිව සිටි නිවස ඇත්තේ මේ ගම්මානයේ ඇති අඹගහ තොටුපළ එහා පැත්තේ නිසා ඔවුන් එදා සිට දිය නැවේ මේ තොටුපළේයි. එදින ද කියා වෙනසක් තිබුණේ නැහැ.
 
ඇය මවගේ නිවස අසළ පදිංචි ඥාතී අක්කා හා තම දරුවන් සමඟ තොටුපළට පැමිණීයේ හවස හතරට පමණයි.
 
"දහයියා පටවන්නත් තියෙන හන්දා අම්මා කිව්ව හවස පහ වෙනකොට ගෙදර එන්න කියලා. ඒක හින්දා ඉක්මණට නාගෙන යන්න ඕනෑ.."
 
ඇය අඩිය ඉක්මන් කළේ එලෙස සුදු අක්කාට පවසමිනුයි. දරුවන් නාවා රෙදි සෝදා ඇය ද නෑවා.
 
එවිට එතැනට පැමිණි තිලක් කුඩා දියණිය, අසළ ඇති කඩයට රැගෙන ගොස් ටොෆි අරන් දී ආපසු කැඳවාගෙන පැමිණෙන විට ඇය සිටියේ නිවසට යෑමට සුදානම් වෙමිනුයි.
 
"ඔහොම හිටපිය...!"
 
ඇය යනු දුටු ඔහු පිහියත් අමෝරාගෙන ගගුරමින් ඇය පසුපස ලුහු බඳින්නට වුණා. රෙදි බාල්දිය එහෙමම අත්හැර දමා මුරුතවෙල ඇළ කණ්ඩිය දිගේ ඇය දුවගෙන ගියේ පණ බේරා ගැනීමටයි.
 
එහෙත් වැඩිදුරක් යෑමට ඇගේ දෙපා එඩිතර වී නොතිබුණා. ඇය සිරිපාලගේ නිවස ඉදිරිපිට ඇදි වැටුණා. එම අවස්ථාවේ සිරිපාල කොප්පරා ගෝනිය බයිසිකලයේ තබාගෙන මීගස්ආර වෙළෙඳසැලකට ගියේ මේ කිසිවක් නොදැනයි.
 
ඔහු එන විටත් ඔහුගේ බිරියත් ඇගේ අක්කාත් සිටියේ කුස්සියේ යි. ඔහුට මීටර් දෙසීයකට වඩා යාමට ඉඩ ලැබුණේ නැහැ. නිවෙස දෙසින් ඇසුණේ මෙන්න මරනවෝ යනුවෙන් මරහඬයි.
 
බයිසිකලය හරවා ගත් සිරිපාල ඉක්මණින් ආපහු හැරුණේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැන ගැනීම සඳහා යි.
 
"ඒ වෙලාවේ මම දුටුවා අපේ ගෙදර සිට ඇළ කණ්ඩිය දෙසට තිලක් යන අය එනවා. ඔහුගේ අතේ පිහියක් තිබුණා. ඔහු මා සමඟ කතා කළේ නැහැ. මීගස්ආර පැත්තට ඔහු එක පයින් ගියා. මම ගෙදරට යන්න හදනකොට මම දැක්කා තිලක් යන අයගේ බිරිය නිරෝෂා අපේ මිදුලේ වැටිලා ඉන්නවා. මම ළඟට ගිහින් බැලුවා..."
 
"බෙල්ල පැත්තෙන් ලේ ගලනවා දැක්කා. ඇය කතා කළේ නෑ. නිරෝෂා වැටී සිටි තැන පොඩි දෙන්නා හිටියා. මේ වෙලාවේ මම කෑගැහුවා මෙතනට වාහනයක් අරන් එන්න කියලා..."
 
"අවට අය එතැනට ආවා. මේ වෙලාවේ අපේ ගෙදර අසළ ඇළ කණ්ඩිය පාරෙන් පාන් අරන් යන වාහනයේ රියදුරාගේ ජංගම දුරකථනයෙන් මේ සිද්ධිය පොලිසියට දැනුම් දුන්නා. ජිප් එක ඇවිත් නිරෝෂාව රෝහලට අරන් ගියා.."
 
පසුදින මිද්දෙනිය නගරයේදී සැකකරු අත්අඩංගුවට පත් වුණා. නිවසේ මේසය මත තිබූ ඝාතනයට යොදාගත් පොල් කඩන පිහිය ද සොයා ගැනීමට අපහසු වූයේ නැහැ.
 
"යම් යම් වැරදි වලට මම බිරිය සමඟ රණ්ඩු වී තිබෙනවා. ඒවා පොලිසියේ පැමිණිලි කරලත් තියනවා. අපි සමාදාන වී පැමිණි පසුව මා සමඟ තරහ වී බිරිඳ දියණියන් දෙදෙනා සමඟ ඇගේ මවගේ ගෙදර ගියා. ඒ මීට මාස හයකට පෙරයි.."
 
"මම කතා කළත් ඇය ආවේ නෑ. මම කුලියට පොල් කඩලා තනියම ජීවත් වුනා. බිරිඳ අම්මාගේ නිවසේ ඉඳන් ගිනිගත්ආර සිරිසේන සර්විස් එකේ වැඩ කරන අයට කෑම උයන්න ගියා. එතන වැඩ කරන අයට කෑම උයන්න ගියා. එතන වැඩ කරන පුද්ගලයෙක් සමඟ සම්බන්ධයක් ඇති කර ගත් බව මට දැනගන්න ලැබුණා. ඔහුගේ නම මම දන්නේ නෑ.."
 
"ඊයේ මම නිවසේ සිට හවස හතරට විතර අඹගහ තොටුපළට එහා ඉස්කෝලේ හාමිනේගේ කඩයට එන්න ආවා. එහෙම එද්දි දරු දෙන්නයි තවත් කාන්තාවකුයි සමඟ තොටුපළට නාන්න ඇවිත් තිබුණා. මම කුඩා දරුවා එක්කන් ටොෆි දීලා ආපහු එක්කන් ආවා.."
 
"එසේ එනවිට බිරිඳ නාලා යන්න සුදානම් වුණා. මම ඇයට ඔහොම ඉන්න කිව්වා. ඇය ඉන් නැතිව සිරිපාලගේ නිවසට දිව්වා. මාත් පසුපස ගියා. බිරිඳ දුවනකොට සිරිපාලගේ නිවෙසේ මිදුලේ වැටුණා. එවිට ඇති වූ තරහාට ඇගේ කෙස් වල්ලෙන් අල්ලා මගේ අතේ තිබූ පිහියෙන් බෙල්ලට ඇන්නා. එක පාරයි මම පිහියෙන් ඇන්නේ.."
 
"එවිට ඇය මෙන්න මරනවෝ කියලා කෑගැහුවා. දරු දෙන්නා හිටියේ අපට ටිකක් එහායින්. ඒ පිහිය මම පොල් කඩන පිහියයි. මිටත් සමඟ අඩියක් පමණ දිගයි. නිතරම මුවහත් කරලා මැදින් ගෙවිලා තියෙනවා. මම බිරිඳට ඇන්නේ ඒ පිහියෙන්.."
 
"වෙළ පැත්තට යද්දි තමයි මාව පොලිසියෙන් අල්ලා ගත්තේ. මං බිරිඳට පිහියෙන් ඇන්න බව පිළිගන්නවා. ඒ අවස්ථාවේ වුනේ මොකද්ද කියලා මට හිතාගන්න බැරිවුණා.."
 
වීරකැටිය රෝහලට හා සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හම්බන්තොට රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි.
 
විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තම පියා, අම්මාව සාහසික ලෙස ඝාතනය කරනවා සියැසින් දුටු 10 හැවිරිදි දැරියකගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව Rating: 5 Reviewed By: lakmina