728x90 AdSpace

Latest News
Saturday, 16 January 2021

සඳට යන්න කලින් ආම්ස්ට්‍රෝන්ටත් සඳ ගමන ගැන ලියපු අපේ මිනිහෙක්

1947 අවුරුද්දේ මං උපන්නා. මගේ පියා ඇලෙක්ස් පෙරේරා. ඔහු පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙක්. මව චාලට් බෙනරගම. ඇය කිසිදු වෘත්තියක යෙදුණු කාන්තාවක් නොවේ. ඇය සදාකල්ම කැපවුණේ ඇයගේ පවුල වෙනුවෙන්. මගේ වැඩිමහල් සොහොයුරිය ඉන්ද්‍රානි පෙරේරා. බාල සොහොයුරා සුනිල් පෙරේරා. පුංචි කාලෙ ඉඳල ම මම දඟ ළමයෙක් කියලා තමයි හැඳින්වූයේ. කොළඹ නාලන්දා මහ විද්‍යාලයෙන් මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. අද වනවිට මම තාරකා විද්‍යාඥයෙක්.

මගේ වැඩිමහල් සොහොයුරිය ඩිප්ලෝමාධාරි ගුරුවරියක්. මල්ලී රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙක්. අපි තුන්දෙනා පුංචි සන්ධියේදී මුහුදේ රළ පාගන්න ගියාම මම කල්පනා කරන්නේ සිප්පි කටු කන්දරාවක් වෙරළට එන්නේ කොහොමද කියා. එහෙමත් නැත්නම් මහ විශාල රැලි මුහුදට එන්නේ කොහොමද කියා. මට මතක් වෙනවා ඈත ක්ෂිතිජයේදී මහ මුහුදයි ආකාසයයි එකට එක්කාසු වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න හැකියාවක් තිබුණු කෙනෙක් අප අතරේ සිටියේ නැහැ. මම ලෝකයට බර මනසක් ඇති දරුවෙක් බවට පත්වුණේ ඔය කරුණු කාරණා නිසා. මගේ මවගේ මහගෙදර පිහිටා තිබුණේ හොරණ කෙසෙල්හේනෑව ප්‍රදේශයේ. 

ඇයට විශාල වතුපිටි ප්‍රමාණයක් තිබුණා. ඒවායේ වැඩකටයුතු සඳහා පැමිණි පුද්ගලයන්ගේ දරුවන් සමඟයි මම මගේ පාසල් නිවාඩු කාලය ගෙවා දැමුවේ. චන්ද්‍රපාල, චන්ද්‍රසිරිලා සමඟ ගෙවුණු ඒ කාලය බෙහෙවින් සුන්දරයි. 1955 වර්ෂයේ ඇතිවුණු ගංවතුරේදී අවදානමක් නොතකා අපි කෙසෙල් කොට පාරු පැද්දා. ගහකට නඟින්න ගෙදරින් කිසිම බාධාවක් තිබ්බේ නැහැ. පොල් කීරක් පයේ ඇනුණත් ගෙදර අය ඒක කමකට ගත්තේ නැහැ. ඔය අතරතුර තමයි සූර්යග්‍රහණය සිදුවුණේ. විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මට තේරුම් ගන්න වුවමනා වුණේ ඔය සූර්යග්‍රහණය නිසා.

මෙම සූර්යග්‍රහණය පිළිබඳ කරුණු කාරණා ගවේෂණය කරන්න රුසියානු ගවේෂණ කණ්ඩායමක් ලංකාවට පැමිණ තිබුණා. සූර්යග්‍රහණයට පෙරාතුව ලංකාවට පැමිණි ඔවුන් සූර්යග්‍රහණයේ කේන්ද්‍රස්ථානය ලෙසින් හඳුනාගත්තේ දඹුල්ල නගරය. ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්මයා ගුවන්විදුලියෙන් කතා කරලා සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියාකාරකම් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළා. උදෑසන 7.07ට සූර්යග්‍රහණය ඇරඹෙන බවත් එය මධ්‍යහ්න 12.18ට අවසන් වන බවත් අදිකාරම් මහත්මයා පවසා සිටියා. ලංකාවට සූර්යග්‍රහණය උදාවන්නේ 8.11ට. එය අවසන් වන්නේ පෙරවරු 8.15ට. විනාඩි 4කුත් තත්පර 12ක් සූර්යග්‍රහණය ලංකාවට බලපාන බවයි අදිකාරම් මහත්මයා පවසා සිටියේ. ඒ කාලයේ අද වගේ පුවත්පත් තිබුණේ නැහැ. 

දිනමිණ සහ ලංකාදීප පුවත්පත් ද එදා උදෑසන සිදුවන මෙම අරුමැසි කාර්යය පිළිබඳ වාර්තා පළ කොට තිබුණා. නමුත් මට අභාග්‍යයකට මෙන් එදිනට අදාළ පුවත්පතක් මිලදී ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. සූර්යග්‍රහණය ආරම්භ වී එය අවසන් වනතෙක් මම සිටියේ ශිශිතාකාර නින්දක. ඒ තරමටම සූර්යග්‍රහණය ද මගේ ජීවිතය වෙනස් කළා. 1957 ඔක්තෝබර් 04 සුප්ටනික් 1 චන්ද්‍රිකාව රුසියාව විසින් අභ්‍යවකාශ ගත කළා. ඒ වනතුරු ලංකාවේ භාවිත වන වචන අතරට අභ්‍යාවකාශය කියන වචනය පැමිණ තිබුණේ නැහැ. අභ්‍යවකාශයට එකලදී භාවිත වුණේ 'ඉහළ අහස' කියන වචනය. සුප්ටනික් 1 අභ්‍යවකාශගත වෙද්දී ඇසුණු බීප් බීප් නාදය රාත්‍රි නවයේ ගුවන්විදුලි ප්‍රවෘත්තිවල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වුණා. ඊට පසුවයි ලෝකයේ රටවල් චන්ද්‍රිකාවක් තම රටින් අභ්‍යවකාශගත කිරීමේ තරගයට අවතීර්ණ වුණේ. ඒ කාලයේදී අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ හැදෑරීමට පොත්පත් සුලබව පැවැතියේ නැහැ.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, ඊ.ඩබ්ලිව්. අදිකාරම් සූරීන් වැනි අය පුවත්පත්වලට රචනා කළ ලිපිවලින් පමණයි අභ්‍යවකාශ විද්‍යාව එසේත් නොමැති නම් තාරකා විද්‍යාව පිළිබද යම් දැනුමක් සමාජයට කාන්දු වුණේ. ඔය අතරතුර ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්මයා 'නවීන විද්‍යාව' නමින් සඟරාවක් ආරම්භ කළා. මම පතපොත පරිශීලනය කරන බව දැනගත්තු ජේම්ස් ගුරුතුමා ධර්මා ගුණසිංහ "ඒයි ඒ.සී. පෙරේරා දරුවා තමුන් ඔය කියවන පොත්පත්වලින් ගන්න තොරතුරුයි ගුවන්විදුලියෙන් අසා දැනගන්නා තොරතුරුයි අනිත් අයත් එක්ක බෙදාහදා ගත්තොත් නරක ද? තමුන්ට අපි පාසල ආරම්භ වීමෙන් පසුව විනාඩි 5ක කාලයක් ලබාදෙනවා.

තමුන් ඔය කාලය පාවිච්චි කරලා අනිත් දරුවන් දැනුවත් කළ යුතුයි" ලෙස පවසා සිටියා. එලෙස උදේ වරුවේ සිදු කිරීමට නියමිත රාජකාරියක් මට පැවැරුණු නිසා මම ඉතා වුවමනාවෙන් විද්‍යා පොත්පත් පරිශීලනය කළා. ගුවන්විදුලියට නොවරදවාම සවන් දුන්නා. ඔය කාලයේදී මහනුවර සිට රජීව් ගුණවර්ධන කියලා කෙනෙක් නාලන්දා විද්‍යාලයට පැමිණියා. ඔහු මගේ බොහොම සමීප මිත්‍රයෙක් බවට පත්වුණා. ඒ වකවානුවේදී රජීව් ගුණවර්ධනගේ පියා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ. රජීව්ගේ පියා ඔහුට ඉංග්‍රීසියෙන් පළවන වර්ණ පොතපත එවන්න හුරු වී සිටියා. ඒ අතරතුර තරු පන්ති පිළිබඳ දැනුම ඇති 'ස්ටාර්' පොත්පත් බහුලව තිබුණා. මා මුල් වරට වර්ණ ඡායාරූපයකින් අභ්‍යවකාශය දුටුවේ ඒ රජීව් ලබාදුන් පොත්පත් හරහා. 

ඉන් පසුව කොළඹ මහජන පුස්තකාලය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇමෙරිකන් සෙන්ටර් වැනි ස්ථානවලට ගොස් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ලියැවුණු පොත්පත් පරිශීලනය කළා. ඔය වෙද්දී එංගලන්තයේ ජොට්ල් බැලන්ස් කියලා අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කර තිබුණා. 1958දී ස්පුටනික් 1 යානයෙන් ප්‍රථම ජීවියෙක් ලෙස රුසියාවේ වීදි සැරූ ලයිකා බැල්ල අභ්‍යවකාශයට පිටත්කර හැරියා. 1961 අප්‍රේල් 12 වැනිදා වොස්ටෝක් 1 යානයෙන් යූරි ගගාරින් අභ්‍යවකාශ ගත වුණා. රුසියාවට ප්‍රතිචාර දක්වමින් ඇලක්ස් ඩී. ෆෙරස් නම් ඇමෙරිකානු ජාතිකයා ඇමෙරිකානු යානයකින් අභ්‍යවකාශ ගත වුණා. ඔහුගේ අභ්‍යකාශ ගත වීම වඩා වැදගත් වන්නේ මහ පොළොවේ සිට එක එල්ලේම අභ්‍යවකාශ ගත වූ ප්‍රථම ජීවියා ඔහු නිසා. එතෙක් කල් අභ්‍යවකාශ ගත කළ සියල්ලන්ම යම් කක්ෂයක් වටා ගමන් කළා මිස එක එල්ලේ අභ්‍යවකාශගත වී තිබුණේ නැහැ.

ඔය අවධියේදී උසස් පෙළ අධ්‍යාපනය ලබන අතරතුර මම ඇමෙරිකානු නාසා ආයතනයට ලිපි ලියන්න ගත්තා. මම ඉල්ලුම් කළේ නවීන විද්‍යා තොරතුරු නිතිපතා ලබාදෙන්න කියලා. ඒ ඉල්ලුම්වලට නාසා ආයතනය ප්‍රතිචාර දැක්වූයේ ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා. 1960 අවුරුද්දේදී මං නීල් ආම්ස්ට්‍රෝන් මහතාට පෞද්ගලිකව ලිපියක් තැපැල් කළා. ආම්ස්ට්‍රෝන් මහතා සඳ තරණය කර පැමිණි විගස මට පිළිතුරු ලිපියක් එවා තිබුණා. ඇමෙරිකන් තානාපති කාර්යාල සමඟ පමණක් නොවේ මම ඔය වකවානුවේ ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයත් සමගත් සම්බන්ධකම් ගොඩනඟා ගෙන තිබුණා.

ඔය වකවානුවෙදී තමයි මම 'සඳට ගිය අපූරු ගමන' කියන පොත රචනා කළේ. ඇන්ඩෲ කොරී මහතා තමයි ඒ කාලේ ලංකාවේ ඇමෙරිකානු තානාපති ධූරය දැරුවේ. මම මගේ කෘතියේ මුල් පිටපත ඔහුට පිළිගැන්නුවා. ඒ සමග ම මම මගේ කෘතියෙන් තවත් පිටපත් 3ක් සඳ තරණය කළ අජටාකාශගාමීන් වූ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රීන්, මයිකල් කොලින්ස්ට ලබාදෙන්න කියා තානාපතිවරයාට ලබාදුන්නා. ඇන්ඩෲ කොරී තානාපතිවරයා බොහොම නිහතමානී මනුෂ්‍යයෙක්. මගේ 'සඳට ගිය අපූරු ගමන' කෘතිය එළිදැකීම වෙනුවෙන් ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී කොක්ටේල් උත්සවයක් සංවිධානය කළා.

ආතර් සී. ක්ලාක් මහතාව මම ප්‍රථමව හඳුනාගත්තේ එම උත්සවයේදී. උත්සවය අවසානයේදී තානාපතිතුමා ඔහුගේ මෝටර් රථයෙන් මාව ගෙදරටම ගෙනැත් ඇරලුවා. 'සඳට ගිය අපූරු ගමන' කෘතිය එළිදැක්වීමට කලින් තවත් අපූරු දෙයක් සිදුවුණා. මම මිනිසුන් සඳට යන්න කලින් 'සඳට යන්නේ කොහොමද?' කියලා කෘතියක් රචනා කළා. ඒ සඳහා ප්‍රකාශකයෙක් සොයා ගැනීම අපහසු වුණා. බොරැල්ල ස්වභාෂා මුද්‍රණාලයේ හිමිකරු වූ පී. ද ඇස් කුලරත්න මහත්තයා හමුවෙන්න ගිහින් මම එම කෘතිය ප්‍රකාශණයට පත්කරන්න හැකිද කියා විමසා සිටියා." පුතා ඇත්තට ම මිනිස්සු හඳට යයි ද?" කියලා කුලරත්න මහත්තයා මගෙන් විමසා සිටියා." ඒ වෙද්දී ඇපලෝ 8 යානය සඳ ආසන්නට ගොස් තිබුණේ. ඒ නිසා ඇපලෝ 11 යානයෙන් මිනිසුන් අනිවාර්යයෙන් හඳට ගොඩ බසීවි" කියා මා කුලරත්න මහත්තයාට පවසා සිටියා. "එහෙම වුණොත් පුතා බෞද්ධාගමත් බොරු වේවි නේද?" කියා කුලරත්න මහත්තයා මගෙන් විමසා සිටියා. කෘතිය මුද්‍රණය පිළිබඳ සති 3ක් පිළිබඳ මා දැනුවත් කරන්නම් කියා කුලරත්න මහත්තයා පවසා සිටියා.

නමුත් එය එයාකාරයෙන් සිදුවූයේ නැහැ. මම සඳ ගමනට සතියකට පමණ පෙරාතුව කුලරත්න මහත්තයා මුණගැසී ඒ පොතේ අත්පිටපත නැවත ඉල්ලා ගත්තා. සඳට යන්න කලියෙන් රචනා කළ එම කෘතිය සඳහා ආතර් සී. ක්ලාක් මහත්තයා මට බොහෝ උපකාර කළා. 1970 වර්ෂයේදී පමණ සඳ ගමනයෙන් රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ලංකාවේදී ප්‍රදර්ශනය කළා. එම ප්‍රදර්ශනය සංවිධානය කළේ ඇමෙරිකානු තානාපති කාර්යාලය. තානාපති කාර්යාලය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ආරාධිත අමුත්තන්ට සිහිවටනයක් ලෙස ලබාදුන්නේ මා විසින් රචනා කළ අපූරු සඳ ගමන කෘතිය. 1970 වර්ෂයේදී මට නාසා ආයතනයෙන් ආරාධනාවක් ලැබුණා ඔවුන් සමග එකතු වී අධ්‍යයන කටයුතු සිදුකරන්න. ඒ වර්ෂයේදීම එංගලන්තයේ රාජකීය තාරකා සංගමය මට ආරාධනා කළා ඔවුන් සමඟ එකතු වන්න කියා. මම ඒ ආරාධනාව පිළිගත්තා. තාරකා විද්‍යාව පිළිබඳව මං ගොඩක් ඉගෙන ගත්තේ එංගලන්තයේදී.

1967 වර්ෂය මට සුවිශේෂ වුණේ මම ආතර් සී. ක්ලාක් මහතා හඳුනාගත් නිසා. ඔහු විසින් රචනා කළ '2001 අභ්‍යවකාශ වීර චාරිකාව' ඒ වෙද්දී චිත්‍රපටයකට නැඟී තිබුණා. ස්ටැන්ලි කුබ්රික්ගේ අධ්‍යක්ෂණයෙන්. මම දුටු ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශ විද්‍යා චිත්‍රපටය වුණේ එම චිත්‍රපටය. ඒ පිළිබඳ විශේෂ ලිපියක් සැකසීමටයි මම ආතර් සී. ක්ලාක් මහතා මුණගැසුණේ. ඔහුගේ නිවෙසේදී තමයි මම මුල්වරට පරිගණකයක් සියැසින් දුටුවේ. ඊට අමතරව ඇමෙරිකාවේ 'නොකියා' ආයතනය නිෂ්පාදනය කළ ඔහු අතට පත්කර තිබූ ජංගම දුරකථනය මුල්වරට දැකගත්තේ. මගේ ගමනට දිරි ලබාදුන්නා නම් ඒ ආතර් සී. ක්ලාක් මහතා පමණයි. ඔහු බොහොම අපූරු පුද්ගලයෙක්. නිර්ලෝභීව තමන්ගේ දැනුම බෙදා දුන්නා. ඔහුගේ මැදිහත්වීම මත ඇපලෝ 12 යානයෙන් අභ්‍යවකාශයට ගිය ගගන ගාමීන් 1970 අප්‍රේල් 12 දින ලංකාවට පැමිණියා. ඔවුන් සමග මහනුවරට යන්න මට අවස්ථාවක් හිමිවුණා.

මහනුවරදී අපිව පිළිගත්තේ මහනුවර නගරාධිපති ඊ.එල්. සේනානායක මහතා. මට වුවමනාවක් තිබුණා පාසල් විෂයේ විද්‍යා දැනුමට තාරකා විද්‍යාවට අදාළ කරුණු කාරණා පෙළගස්වන්න. ඒ සඳහාත් මට අවස්ථාව ලැබුණා. නමුත් පැවැති කිසිදු රජයක් මා වැනි ස්ව උත්සාහයෙන් අධ්‍යාපනය හැදෑරූ කිසිවකුට පහසුකම් ලබාදුන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්ලේටෝ ග්‍රහයා සොයා ගත්තේ කුඩා පාසල් දරුවෙක්. ඔහුගේ නම ක්‍රයිබෝන් කොම්බෝ. කොම්බෝ ඔහුගේ නිවෙස ආසන්නයේ පිහිටි තාරකා විද්‍යා ආයතනයක අධ්‍යයන කටයුතුවලින් පසුවයි ප්ලේටෝ ග්‍රහයා සොයා ගත්තේ. ඔහුට ඇමෙරිකන් රජය අධි ශිෂ්‍යත්වයක් ලබාදී ඔහුගේ අනාගතය සුරක්ෂිත කළා. නමුත් ලංකාවේදී එවැන්නක් සිදුවුණේ නැහැ. මේ වෙද්දී මම තාරකා විද්‍යා විෂය ආවරණය කරමින් පොත් 30ක් පමණ රචනා කර තිබෙනවා.

70 දශකයේ අහස තරම් අද අහස පැහැදිලි නැහැ. කොච්චර සින්දු ලියැවුණත් ඉරබටු තරුව වත් පැහැදිලිව දැකගන්න අද ඉඩකඩ නැහැ.

කතාව, පින්තූර - ප්‍රභාත් අත්තනායක
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සඳට යන්න කලින් ආම්ස්ට්‍රෝන්ටත් සඳ ගමන ගැන ලියපු අපේ මිනිහෙක් Rating: 5 Reviewed By: lakmina