728x90 AdSpace

Latest News
Saturday, 9 January 2021

තමන්ගේ අවුරුදු ගාණක් බාල අනියම් පෙම්වතාව, ෆෝන් එකේ චාජරයෙන් ගෙල සිර කර මැරූ, තිදරු මව කියූ පොලිසියත් පුදුම වුනු කතාව

"මාත් එක්ක යාළුවෙලා ඉන්න පිරිමි ළමයා මම ඉන්න බෝඩිං කාමරේට ආවා. ඒ ආපු වෙලාවේ අපි දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වුණා. මම ටෙලිෆෝන් චාජරයේ වයර් එකෙන් එයාගෙන් බෙල්ල හිර කළා. හුස්ම ගන්නේ නැති නිසා මම එයාව එහෙමම තියලා ළඟම පොලිසියට ආවා.."
 
පසුගිය මාසයේ 24 වැනිදා සවස කොට්ටාව පොලිසියට පැමිණි මැදිවියේ යැයි පැවසෙන කාන්තාවක් එලෙස පාපොච්චාරණයේ යෙදුණා.

ඇගේ බෝඩිම පිහිටා ඇත්තේ මාකුඹුර ප්‍රදේශයේ යි. එම ප්‍රදේශයට ළඟම පොලිස් ස්ථානය කොට්ටාව වුවත් අයිති පොලිස් ස්ථානය හෝමාගම යි. එබැවින් ඇය හෝමාගම පොලිසියට යොමු කිරීමට කොට්ටාව පොලිස් නිළධාරින් කටයුතු කළා.
 
ලද දැනුම් දීම අනුව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ කණ්ඩායමක් කොට්ටාව පොලිසිය බලා පිටත් වුණා.
 
ඔවුන් කොට්ටාව පොලිසියට යන විට පැමිණිලිකාර සැකකාරිය බලාගත් අත බලාගෙන දැඩි කනස්සලු ස්වරූපයෙන් අපරාධ අංශයේ හිඳගෙන සිටිනු දකින්නට ලැබුණා.
 
ඇය සිය භාරයට ගත් හෝමාගම පොලිසියේ කණ්ඩායම ඇගෙන් තොරතුරු විමසුවා.
 
"මාකුඹුර බෝගහ ළඟින් ඇතුළට ගියාම තට්ටු දෙකේ ගෙදර උඩතට්ටුවේ කාමරේක තමයි එයා වැටිලා ඉන්නේ.."
 
ඇය සිද්ධිය වූ ස්ථානය ගැන පැවසුවා. ඇය මේ නිවසේ කාමරයක් කුලියට ගෙන තිබුණේ මීට දින දෙක තුනකට පෙර යි.
 
සිය අත් බෑගයෙන් යතුර අතට ගත් ඇය කාමරයේ දොර විවෘත කළා. එවිට දකින්නට ලැබුණේ යට කලිසම පමණක් හැඳ සිටි තරුණයෙකු උඩුබැලි අතට බිම වැටී සිටින අයුරුයි. ඔහුගේ මුවෙන් රුධිරය ගලා ගොස් තිබෙන අයුරුද දැකගත හැකි වුණා. ඔහුගේ ගෙල වටා කළු පැහැ වයරයක් ගැට ගසා තිබුණා.
 
මෙලෙස මිය ගොස් තිබුණේ මාතර පොලිස් කොට්ඨාශයට අයත් දෙයියන්දර පොලිස් වසමේ පදිංචි අරුණ කුමාර නම් 24 හැවිරිදි අවිවාහක තරුණයෙක්. ඔහු මරා දමා තිබුණේ කැකිරාවේ පදිංචිකාරියක් වූ හතළිස් එක් හැවිරිදි තිදරු මවක්. ඇය තරංගා නම් වුණා.
 
සැමියා හැර යාමෙන් පසු තරංගා රැකියා සොයන්නේ දරු තිදෙනා උස් මහත් කරගැනීමේ අරමුණිනුයි. ඇගේ දරු තිදෙනාගෙන් දෙදෙනෙක්ම පුතුන් වුණා. එක් පුතෙක් ගමේ විහාරස්ථානයක මහණ වී සිටන අතර අනෙක් පුතා ද කල් ගෙවන්නේ එම විහාරස්ථානයේ යි.
 
තරංගාට රැකියාවක් ලැබෙන්නේ කොළඹිනුයි. ඒ මීට වසර හය හතකට පෙර කොළඹ පෞද්ගලික ආරක්ෂක සේවායතනයයි.
 
කොළඹින් සොයා ගත් බෝඩිමක කල් ගෙවමින් රැකියාවේ නිරත වන අතර ඇගේ පාළුව තනිය මැකුවේ ජංගම දුරකථනයයයි. ඉන් මුහුණු පොතක් සාදා ගත් ඇයට කුමාරව හමුවන්නේ ඒ හරහා යි. ඒ මීට වසර පහකට පෙරයි.
 
එවකට ඔහුට වයස අවුරුදු 19යි, ඇයට තිස් හයයි. පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරතව සිටි දෙදෙනා පෙම්වතුන් බවට පත්වන්නේ ඒ ගැන තැකීමක් කරන්නේ නැතුවමයි.
 
දෙදෙනාම සේවය කරන්නේ කොළඹ යි. දෙදෙනාටම ලැබී ඇති නිදහස උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් දෙදෙනා කාමරයක් කුලියට ගෙන කල් ගෙවද්දි ඔහු ඇගේ නිරුවත් සිරුර පවා සිය දුරකථනයේ සටහන් කරගත්තේ ඇගේ කැමැත්ත ද ඇතිවයි. එපමණක් නොව ඇය සමඟ ලිංගික සබඳතා පවත්වද්දි ඒවා රූගත කර ගැනීමට ද ඔහු අමතක කළේ නැහැ.
 
වයසින් මුහුකුරා නොගිය ද මොහු සල්ලාල චරිතයක්.
 
මේ නිසාම දෙදෙනා අතර ආරවුල්ද හටගත්තා. ඇය රැකියාව අතහැර දමා ගමට ගියේ තවදුරටත් මොහු සමඟ හිදීම ඇඟට සුදුසු නොවන බව වැටහුණූ නිසායි.
 
එහෙත් ඇයට වැඩි කාලයක් ගමට වී කල් ගෙවීමට හැකි වූයේ නැහැ. රැකියාවේ අවශ්‍යතාව මෙන්ම ඔහුගේ පෙරැත්තයත් නිසා ඇය යළි කොළඹට එන අතර, ඒ සැණින් රැකියාවක් මෙන්ම නවාතැනක්ද සොයා ගත්තා.
 
යළි දෙදෙනා අතර ආරවුල් හට ගන්නේ ඔහුගේ හැසිරීම මුල් කරගෙනයි.
 
ඔහු වෙනත් ළඳුන් ඇසුරු කරන අතරම ඇයට ද අනියම් පුරුෂයන් සිටින බවට හෙතෙම ඇයට චෝදනා කළා.
 
නිමක් නොමැති ගැටුම් නිසාම අවසන් වරට ගමට යන ඇය ආපහු එන්නේ අලුත් බෝඩිමක්ද සොයා ගෙනයි. ඇයට රැකියාව ලැබෙන්නේ විදේශ සේවා හි ආරක්ෂක සේවයේයි. ඇය බෝඩිම සොයා ගත්තේ කොට්ටාව මාකුඹුරේයි.
 
ඇය මෙලෙස රැකියාවත්, බෝඩිමත් සොයා ගන්නේ ඔහුට හොර රහසිනුයි. ඒ තුළින් ඔහු සමඟ ඇසුරට නොවැටී තමන්ගේ පාඩුවේ රැකියාව කරගෙන සිටිනවාය යන අදිටන ඇතිවයි.
 
එහෙත්... ඇයට ඔහුගෙන් ඊට ඉඩක් ලැබුනේ නැහැ.
 
ඔහු ඇය සේවය කරන ස්ථානය සොයා ගන්නේ ඇගේ දුරකථන අංකයෙනුයි. ඔහු පසුගිය 23 වැනිදා ඇගේ රැකියා ස්ථානයට එන්නේ වැඩ අවසන් වෙලාවටයි.
 
"උඹ මාව මඟ අරින්නේ උඹට වෙන මිනිස්සු ඉන්න නිසා. උඹ අලුත් බෝඩිමේ ඉන්නේ වෙන මිනිහෙක් එක්ක.."
 
ඇය හමුවට ආ ඔහු එසේ පවසද්දි ඇයට ඉහිලුම් දුන්නේ නැහැ.
 
"උඹ මට හොරෙන්ම බෝඩිමක් අරගෙන නතර වුනේ වෙන මිනිහෙක් ඉන්න නිසා. උඹ ඌත් එක්ක බෝඩිමේ ඉන්න නිසා තමයි මට එන්න නොදෙන්නේ.."
 
ඇය ඔහුව අලුත් නවාතැනට කැඳවාගෙන යන්නට කැමති වෙන්නේ තමන්ගේ නිරවද්‍යතාවය පෙන්වීමටයි.
 
"ඊයේ රෑ වැඩ ඇරිලා මාත් එක්ක එයත් මගේ බෝඩිමට ආවා. ඇවිත් රෑට කාලා අපි එකට හිටියා. පහුවෙනිදා උදේ මෙයා වෙන ගෑනියෙකුට කෝල් කරලා කතා කර කර හිටියා. මට ඒකට තරහා ගියා.."
 
"මම එයාගේ ෆෝන් එක උදුරලා අරගෙන අර ගෑනු කෙනාට කිව්වා මමයි අරුණයි අතරේ සම්බන්ධයක් තියෙනවා දැන් අවුරුදු පහක ඉඳලා. එයා ඉන්නෙත් මගෙත් එක්ක මගේ කාමරේ... එයා එක්ක තියෙන සම්බන්ධේ නවත්වන්න කියලා.."
 
"ඒ වෙලාවේ එයා මාත් එක්ක රණ්ඩු වුණා. ඊට පස්සෙ අපි ලෑස්ති වෙලා පිළියන්දලට ගියා එයාගේ යාළුවෙක් හම්බ වෙන්න. මාව මඟ තියලා ගිහින් යාළුවා හම්බ වෙලා ආවා. පස්සේ කඩේකින් දවල්ට කාලා අපි ගෙදර ආවා. ඊට පස්සේ තමා ලොකුම ප්‍රශ්නය ඇති වුනේ.."
 
උඩ ඇඳුම් උනා දැමූ ඔහු ඇය සමඟ දබර කරන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ඔහු ඇයට තර්ජනය කළේ තම දුරකථනයේ තිබෙන නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින බව කියමිනුයි.
 
ඒ අවස්ථාවේ ඇය ඔහුගේ දුරකථනය උදුරා ගැනීමට ගිය අතර, ඔහු කළේ ඇගේ දුරකථනය රැගෙන පොළවේ ගැසීමයි. අනතුරුව යට ඇඳුම පිටින් බිම හිඳගත් ඔහු සිය දුරකථනයේ ඇති නිරුවත් ඡායාරූප බලන්නට වූ අතර ඒවා යවන බවට ද තර්ජනය කළා.
 
ඒ අතර ඔහු පොළවේ ගැසූ කැබලි අහුලා ගෙන ඒවා එක්කොට යළි යථා තත්ත්වයට පත් කර ගත්තා. අනතුරුව චාජරය අතට ගත්තේ යළි සැකසූ ජංගම දුරකථනය චාර්ජ් කිරීමට සිතාගෙන යි.
 
ඔහු අසළට පිටුපසින් ගිය ඇය දුටුවේ ඒ වන විට ඔහු වෙනත් පෙම්වතියකට කෙටි පණිවුඩයක් යතුරු ලියනය කරමින් සිටින බවයි.
 
දුටු දෙයින් දැඩි ලෙස කිපෙන ඇය සිය අතේ වූ චාජරයේ වයරය පිටුපසින් සිටිමින් ඔහුගේ ගෙළ වටා දමා තද කරන්නේ සිතට ඇතුළු වූ තරහ වෛරයක් බවට පත්ව තිබූ නිසායි.
 
"මම වයර් එක බෙල්ලට දාලා තද කරද්දි එයා මුනින් අතට වැටුණා. මම එහෙමම සෑහෙන වේලාවක් බෙල්ල තද කරගෙන හිටියා. එයා හෙල්ලෙන්නෙවත් නැති වුණාට පස්සේ මම එයාව උඩු අතට හරවලා වයර් එක තදකරලා ගැටගැහුවා..."
 
"ඊට පස්සෙ නහයට අත තියලා බැලුවා හුස්ම වැටෙනවද කියලා. හුස්ම වැටෙන්නේ නැති නිසා එයා මැරිලා කියලා මට තේරුණා. ඒ නිසා තමා පොලිසියට ආවේ. මට එහෙම පියවරක් ගන්න සිද්ධ වුනේ ඇති වෙච්ච බයට. මගේ අර පින්තූර පොඩි හාමුදුරුවෝ ඉන්න පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ෆෝන් එකට යැව්වා නම් මට මොකද වෙන්නේ...? මම කොහොමද මගේ දරුවන්ගේ මූණු බලන්නේ. ඒකයි මම ඒ කොල්ලව මරලා දැම්මේ.."
 
රැකියාවට කොළඹ පැමිණි 24 හැවිරිදි තරුණයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුනේ එලෙසයි.
 
ඝාතනයට ලක් වූ අරුණගේ සිරුර භාරගත්තේ වැඩිමහල් සහෝදරයෙකු විසිනුයි. පොලිස් භාරයට ගත් ඔහුගේ නවීන දුරකථනය විවෘත කිරීමට නොහැකි වී ඇති අතර ඒ, එහි අගුලු හැරීමට දන්නා අයෙක් හෝමාගම පොලිසියේ නොවන නිසායි.
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තමන්ගේ අවුරුදු ගාණක් බාල අනියම් පෙම්වතාව, ෆෝන් එකේ චාජරයෙන් ගෙල සිර කර මැරූ, තිදරු මව කියූ පොලිසියත් පුදුම වුනු කතාව Rating: 5 Reviewed By: lakmina