728x90 AdSpace

Latest News
Wednesday, 17 February 2021

යාළුවෙලා පැනලා ගිය පෙම්වතියව විවාහ කරගන්න, ඇයගේ මවුපියන්ගෙන් කෝටි 2ක දෑවැද්දක් ඉල්ලන පෙම්වතා

තම ආදර සම්බන්ධයට මවුපියන් විරුද්ධ වීම නිසා පෙම්වතා සමග හොර රහසේ පලාගිය තරුණියක තමා විවාහ කරගැනීමට නම් පෙම්වතා රුපියල් කෝටි 2ක දෑවැද්දක් ඉල්ලන බව පසුව මවුපියන්ට දැනුම් දීම නිසා මාසයකට පසුව ඇය යළිත් නිවසට ගෙන්වා ගැනීමේ සිද්ධියක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයෙන් වාර්තා වේ.
 
තම 24 හැවිරිදි දියණිය අබිරහස් ලෙස නිවසින් අතුරුදන්ව ඇති බවට කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි මවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත. මෙම දියණිය අබිරහස් ලෙස අතුරුදන් වූ බව කියමින් පැමිණිලි කළ තරුණියගේ පියා කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි ධනවත් තැනැත්තකු බව ද සඳහන් වේ. මෙම තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලිසිය අබිරහස් ලෙස අතුරුදන්ව ඇතැයි පැවැසු තරුණිය තරුණයකු සමග පලාගොස් ඔහු සමඟ එකට ජීවත්වෙන බවට තොරතුරු හෙළි කරගෙන ඒ බව මවුපියන්ට ද දැනුම් දී ඇත. මෙම පලා ගිය තම දියණිය සිටින තැන හෙළි කරගත් මවුපියන් ඇය සොයා ගොස් නැවත නිවසට එන ලෙස ඉල්ලා ඇතත් ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි.

මේ අතර තරුණිය තමාව විවාහ කරගන්නා ලෙස පෙම්වතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන විට ඇය විවාහ කරගැනීමට තමාට කෝටි 2ක දෑවැද්දක් අවශ්‍ය බව පෙම්වතා පවසන බව තරුණිය ටික දිනකට පසුව තම මවුපියන්ට දැනුම් දී තිබේ. මෙම තරුණයාට හරිහැටි රැකියාවක් ද නැති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.මේ අතර මවුපියන් ද දියණිය විවාහ කරගන්නා ලෙස තරුණයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සෑම අවස්ථාවකම ඔහු විවාහය සිදුවීමට නම් රුපියල් කෝටි 2ක දෑවැද්දක් තමාට අවශ්‍ය බව මවුපියන්ට ද පවසා ඇතැයි කියති.තරුණයා කෝටි 2ක දෑවැද්දක් ඉල්ලමින් නිතර තමාට හිරිහැර කරන බව දියණිය ඇයගේ මවුපියන්ට දැනුම් දී තිබේ.

යාපනය දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි එම මවුපියන් මෙම සිද්ධිය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට ඉදිරිපත් කර ඇත.සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් සිය දියණිය යළි නිවසට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද මවුපියන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවසා ඒ සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් ඉල්ලා ඇතැයි ද පොලිසියේ ප්‍රකාශකයෙක් 'ලංකාදීප' යට පැවැසීය.

දියණිය නිවසට කැඳවාගෙන යන ලෙසත් ඇය නිවසට පැමිණි පසුව පෙම්වතා කරදර කළහොත් ඒ ගැන පැමිණ පොලිසියට දන්වන ලෙසටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මවුපියන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව තරුණිය මාසයක පමණ කාලයකට පසුව යළි නිවසට කැඳවාගෙන ගොස් තිබෙන බව ද පොලිසියේ ප්‍රකාශකයා සඳහන් කළේය.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: යාළුවෙලා පැනලා ගිය පෙම්වතියව විවාහ කරගන්න, ඇයගේ මවුපියන්ගෙන් කෝටි 2ක දෑවැද්දක් ඉල්ලන පෙම්වතා Rating: 5 Reviewed By: lakmina