728x90 AdSpace

Latest News
Thursday, 4 March 2021

රටම භීතියෙන් ඇළලී ගිය, වේල්ලවීදියේ කුරිරු ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ සම්පූර්ණ කතාව මෙන්න, ඝාතකයා පැය 24න් සොයා ගත් පොලිසියේ සුපිරි මෙහෙයුම

රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ වේල්ල වීදියේදී සොයාගත් හිස සුන් කාන්තා මළකඳ පිළිබඳ කෙරුණු විමර්ශනයේදී ඊට අදාළ සියලු තොරතුරු පැය 24ක් ඇතුළත අනාවරණය කරගැනීමට කොළඹ වේල්ල වීදියේ පොලිසිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

එහෙත් මරා දැමුණු කාන්තාවගේ හිස කොටස සොයා ගැනීමට පොලිස් විමර්ශකයන්ට මෙතෙක් හැකි වී නැත. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇගේ හිස කොටස සැඟවූ ඇගේ පොලිස් පෙම්වතාද ඊයේ ගෙල වැලලාගෙන මියගොස් තිබීම නිසාය.

ඔහුගේ මරණය විමර්ශනයට කිසියම් බාධාවක් ගෙනදී ඇත.

අමානුෂික ලෙස ගෙල කපා පෙම්වතිය මරා ඇගේ සිරුර බෑගයක දැමීමට තරම් ඔහු සාහසික වූයේ මන්දැයි නිවැරැදි ලෙස පැවැසීමට නොහැකි වී ඇත්තේ ඔහුගේ මරණය නිසා බවද ඒ සියල්ල දන්නේ මියගිය ඔහු විසින් බවද පොලිසිය කීය.

රබර් ගසක එල්ලී මරණයට පත්ව සිටි පොලිස් පෙම්වතා සන්තකයේ තිබී ඔහු විසින් සිය බිරියට ලියන ලද ලිපියක මරා දැමුණු තරුණිය හා ඔහු අතර තිබූ අනියම් පෙමෙහිදී ඇතිවූ කරදරකාරී බවක් තිබූ අන්දම සඳහන් කර ඇතත් ඇය මරා දමන්නට තරම් වූ හේතු කාරණා සඳහන් කර නොමැත.

දැනට හෙළිවී ඇති කරුණු කාරණාවලට අනුව මරා දැමුණු තරුණිය කුරුවිට තෙප්පාගම ප්‍රදේශයේ පදිංචි ලිනියාකුමාර දූලනිගේ දිලිණි යසෝධා ජයසූරිය නමැති තිස් හැවිරිදි යුවතියකි. ඇගේ පියා මිය ගොසිනි.

ඇය ජීවත් වූයේ ඇගේ මව සහ සොහොයුරකු සමඟිනි. සොහොයුරා ප්‍රාදේශීය කුරුවිට සභාවේ මන්ත්‍රිවරයෙකි.

දිලිණි යසෝධා කලක් ඇඟලුම් කම්හලක ද පෞද්ගලික ආයතනයකද සේවය කළ තැනැත්තියකි. ඉන් අනතුරුව ඇය කඩුවෙල ප්‍රදේශයේ ඇති එක්තරා පෞද්ගලික දුරකථන ආයතනයක සිම් කාඩ්පත් අලෙවි කිරීමේ ස්ථානයක අලෙවි නිලධාරිනියක් ලෙසත් කටයුතු කර තිබිණි.

පසුව ඇය තරුණසේවා සභාවට අයත් තරුණ කණ්ඩායම් සමඟ ප්‍රදේශයේ තාප්ප අලංකරණයේද යෙදී තිබේ. මීට මාස හතරකට පමණ පෙර ඇය රැකියාවෙන් ඉවත්ව ඇත. ඒ තම ඔත්පළව සිටින මව රැකබලා ගැනීමේ අදහසින්ය. මේ අතර ඇය නිතර දෙවේලේ සිය ජංගම දුරකථනය ඔස්සේ ෆේස්බුක් ජාලයේද සැරිසැරුවාය.

ඇයට ප්‍රේමසිරි මුණගැසෙන්නේ ඔහු ප්‍රභූ ආරක්‍ෂක අංශයේ සේවය කරද්දීය. ඒ යහපාලන ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු වූ හේෂා විතානගේගේ ආරක්‍ෂක නිලධාරියාව සිටියදීය. ඒ ඇයගේ සොහොයුරා එජාපයේ කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වීම තුල හේෂා විතානගේ මන්ත්‍රිවරයාගේ කිට්ටු සහායකයකු වීම නිසාය.

ඊට පෙරාතුව ප්‍රේමසිරි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂකයකු වශයෙන්ද සේවය කර ඇත.

ඔහුගේ හැඩිදැඩි සිරුරටත්, තාරුණ්‍යයටත් වශී වූ ඇය නිතර නිතර ප්‍රේමසිරි සමඟ ‘චැට්’ කරන්නට වූවාය. අයියේ .. අයියේ කියමින් ඇය ඔහු හා චැට් කරද්දී ඔහු ඇයට නොයෙකුත් බොරු බේගල් ඇද දැම්මේය. ඔහු ඇයට කී ලොකුම බොරුව වූයේ ඔහු තවමත් අවිවාහකයකු බවය. ඔහුගේ බස්වලට ඇය රැවැටුණාය.

දෙදෙනා මෙලෙස නිතර නිතර ආදර පෙම් බස් ‍ෙදාඩද්දී ප්‍රේමසිරි සිය බිරියටද කිසිදු අඩුපාඩුවක් නොකරමින් ඇයටද සැලකුවේය. ඒත් දිලිණි සමඟ තිබූ අනියම් සබඳතාවද දිගටම පැවැතිණි.

“මම ඔයාව බඳිනවාමයි.. බඳිනවාමයි”

ප්‍රේමසිරි ඇයට කිහිප වතාවක්ම එසේ කීවේය. ඒ අනුව ඇය ප්‍රේමසිරි පිළිබඳ දහසකුත් බලාපොරොත්තු තැබුවාය. ඔහු විවාහ කර ගැනීමේ අදහසින් ප්‍රේමසිරි කියන ඕනෑම දෙයකට ඇය කැමැත්ත පළ කළාය.

එහෙත් ප්‍රේමසිරි විවාහකයෙකි. වයස අවුරුදු 52ක පුද්ගලයෙකි. ඒත් ඔහුගේ වයස තරමට පෙනුම නොතිබිණි. ඒ ඔහු ක්‍රීඩාවේ යෙදී සිටි අයකු වීම නිසාය. ඔහු කාය වර්ධන ක්‍රීඩාවේ යෙදෙමින් ඇඟපත සකසා ගත්තේය. පොලිස් කණ්ඩායමට එකතුව බොක්සිං ක්‍රීඩාවේද යෙදුණේය. ඒ නිසා ඔහුගේ පෙනුමට වයස අදාළ වූයේ නැත. මේ හැඩට දිලිණිද හසුවූවාදැයි සැක සහිතය.

ප්‍රේමසිරි කාලයක්ම සේවය කළේ ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තවය. ඔහු කලක් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල තරුණ මන්ත්‍රිවරයකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලෙසද කටයුතු කළේය.

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකුටද සේවය කළේය. පසුව ඉන් ඉවත්වී සාමාන්‍ය පොලිස් රාජකාරිවලට එක්විය. ඔහු අවසන් වරට බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරි කළේය. ප්‍රේමසිරිගේ නිවෙස පිහිටා තිබුණේ බඩල්කුඹුර පොලිස් වසමේය. බඩල්කුඹුර, වෙහෙරගොඩ ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටියේ බිරිය හා දරුවන්ද සමඟය. ඔහුගේ ලොකු පුතාට වයස අවුරුදු 18කි.

ඉකුත් 27 වැනිදා ඔහු සේවයට වාර්තා කළේ නැත. ඔහු එදින නිවාඩුවක් ලබාගත්තේය. ඒ කුමන හේතුවක් නිසාදැයි දන්නේ ප්‍රේමසිරිම පමණි.

මේ වනවිට දිලිණිද ශ්‍රී පාද වන්දනාව සඳහා යන බව මවට හා සහෝදරයාට පවසා තිබිණි. ඒ ඇගේ මිතුරු මිතුරියන් සමඟිනි. ඊට මවගේ අනුමැතියද හිමිව තිබිණි. ඒ ඉකුත් මස 26 වැනිදාය. ඒ ඇය අවසන් වරට ගෙදරින් පිටත් වූ දිනයයි. ඇය තමා ශ්‍රී පාදස්ථානය බලා යන බව ඒත්තු ගන්වන්නට සිය සොහොයුරාට ඒ බව කියමින් ඇමැතුමක් දෙන්නටද අමතක නොකළාය.

“මම දැන් එරත්නේ ඉන්නේ. යාළුවොත් ඉන්නවා.”

එතැනින් එහාට සිදුවුණු දේ දන්නේ දිලිණිය. නැතහොත් ප්‍රේමසිරිය. දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එතැන් පටන් මොවුන් බස් රියකින් හංවැල්ලට පැමිණ ඇති බවය. ඒ බව තවමත් තහවුරු වී නැත. ඒ බව අනාවරණය කර ගැනීම සඳහා කුරුවිට හා ඒ අවට 26 වැනිදා දින සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

කෙසේ වෙතත් මොවුන් දෙපළ හංවැල්ලට පැමිණ ඇත්තේ 27 වැනිදාය. ඒ රාත්‍රි දහයට පමණය. හංවැල්ල නගරයට ආසන්නව පිහිටා ඇති තට්ටු දෙකේ ගෙස්ට් හවුසියට පැමිණ ඇති මොහු එහි ඉහළ කාමරයේ අංක 106 දරන කාමරයේ නවාතැන්ගෙන ඇත. සාමාන්‍ය ලැගුම්හලකට නවාතැන්ගැනීමට එන තරුණ ජෝඩු බොහෝය.

මින් බොහෝමයක් දෙනා අනියම් සබඳතාවන් පවත්වාගෙන යන පිරිස්ය. එමෙන්ම මෙම අනියම් ජෝඩු අතර ඇතිවන ආරවුල් නිසා බොහෝ අවස්ථාවලදී පිරිමියා විසින් අනියම් බිරිය ඝාතනය කළ අවස්ථාද තිබිණි. නැතහොත් දෙදෙනා වස බී සිය දිවි හානි කරගත් අවස්ථාද තිබේ. නැතහොත් එල්ලී මිය යෑමේ හෝ වස පානය කිරීම්ද වාර්තා වී තිබේ.

මේ දිනවල ව්‍යාප්ත වන කොරෝනා වසංගතය නිසා මෙවන් ලැගුම්හල්වලට ඇතුළු වන අයගේ නම් ගම් ජාතික හැඳුනුම්පත් අංක අනිවාර්යයෙන්ම සටහන් කරගත යුතු බවට නියෝගයක් ඇත. එම නියෝගය අකුරට පිළිපදිමින් එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය හෝටලයේ ලැගුම් ගන්නට පැමිණි මේ තරුණ ජෝඩුවගේ නම් ගම් හා ජාතික හැඳුනුම්පත් අංකද සටහන් කරගත්තාය.

ඒ වනවිට මොවුන් සතුව තිබුණේ අත්මලු දෙකකි. එක් බෑගයක් ප්‍රේමසිරි කරේ එල්ලාගෙන සිටි අතර දිලිනිද සිය ඇඳුම් ආයිත්තම් බෑගයක දමාගෙන සිටියාය.

27 වැනිදා රාත්‍රි දහයට 106 කාමරයට ඇතුළු වූ මොවුන් 28 වැනිදා සම්පූර්ණ දවසේත් කාලය ගත කළේ එම කාමරය තුළය. එහෙත් මොවුහු දෙතුන් වතාවක්ම තම ලැගුම්හලෙන් පිටතට ගියහ. මේ වනවිට අනාවරණය වී ඇත්තේ මොවුන් එම ලැගුම්හලෙන් ලබාගෙන තිබුණේ කිරි තේ දෙකක් පමණක් බවය. ඒ අනුව ඔවුන් එම දින දෙක තුළ පිටතින් ආහාර ලබාගෙන ඇති බව පොලිසියේ සැකය විය.

මාර්තු පළමුවැනිදා උදෑසන ප්‍රේමසිරි මෙම හෝටලයෙන් පිටව යන්නේ තනිවමය. එලෙස ගිය ඔහු මොහොතකට පසු යළි එම හෝටලයට එන්නේ ලොකු බෑගයක්ද අතැතිවය. එය මොහු ගෙන එන්නේ හෝටල් හිමිකරුවන්ට සඟවාගෙනය. හෝටල් හිමිකරු හා ඔහුගේ බිරියද මේ බවක් දැනගෙන තිබුණේ නැත.

එවන් බෑගයක් වැඩි වශයෙන් භාවිත කරනුයේ විදේශ ගතවන අය හා විදේශගතව මෙරටට පැමිණෙන අයවලුන්ය. නැතහොත් දින කිහිපයක් සංචාර සඳහා යන අයවලුන්ය. ප්‍රේමසිරි කාමරයට රැගෙන ආවේද එවන් බෑගයක්ය.

මාර්තු පළමුවැනිදා ප්‍රේමසිරි යළි එම නවාතැන්පොළෙන් නික්ම යන්නේ එම බෑගය සමඟිනි. ඔහුගේ කරේද තවත් බෑගයක් එල්ලාගෙන ඇත. ඒ ඔහු නවාතැන් ගැනීම සඳහා එනවිට රැගෙන පැමිණි බෑගය විය.

නවාතැන්පොළෙන් පිටව යෑමට පෙර එහි හිමිකරුගේ බිරිය වෙත පැමිණි ඔහු දෙදින සඳහා ගෙවිය යුතු මුදල පියවා දැමීය. ඒ රුපියල් 4100කි. එම මුදල ගෙවන මොහොතේ ඔහු සමඟ දිලිණි සිටියේ නැත. මෙවන් නවාතැන්පොළවලට පැමිණෙන පිරිමින් සමඟ රැඳෙන කාන්තාවන් හෝටලයට යන එන අයට හෝ එහි සේවක පිරිස්වලට මුහුණ දීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

ඒ ඔවුන් හොර රහසේ මෙම ගමන් එන බැවිනි. ඒ නිසා ප්‍රේමසිරි සමඟ පැමිණි තරුණියද එසේ මුහුණදීමට අකැමැතිව ඉදිරියට නොඑන්නට ඇතැයි හිමිකරුගේ බිරිය සිතන්නට ඇත. ඒ මොහොතේ ලැගුම්හලේ හිමිකරු සිටියේ වෙනත් ප්‍රදේශයකය.

සිය බිල ගෙවා දැමූ ප්‍රේමසිරි කරේ අත්බෑගයද තවත් ලොකු බෑගයක් බිම දිගේ අතින් ඇදගෙන යන අයුරු ලැගුම්හලේ හිමිකරු දුටුවේය. ඒත් ඔහුට එය එතරම් ගණනක් නොවීය. ඒත් සමඟ ඔහු වෙනත් කර්තව්‍යයක නිරතවීම නිසා ඒ ගැන විමසන්නටද ඔහුට අමතක විය. මෙලෙස පැමිණි ප්‍රේමසිරි හංවැල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිසියේය. මොහොතක් පාරේ රැඳී සිටි ඔහු ඉදිරියට එන ත්‍රීවීලරයක් නතර කරගත්තේය.

ඊට විශාල බෑගයද දමා ගත් ඔහු ත්‍රිරෝද රියැදුරාට පවසා ඇත්තේ තමාව හංවැල්ල නගරයට දමන ලෙසය. ප්‍රේමසිරි ඩීසල් ත්‍රිරෝද රියකට ගොඩවන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සදහන් විය. ඒත් ඔහු ඒ බවක් නොදත්තේය.

යළි හංවැල්ල නගරයෙන් බෑගයද අතැතිව බැසගත් ප්‍රේමසිරි නගරයේ විනාඩි කිහිපයක් ගත කළේය. ඒ පිටකොටුව බලා යන හිස් බසයක් එනතුරුය. ඒ වනවිට වේලාව උදෑසන 11.45ට පමණ විය. ලොකු ට්‍රැවලින් බෑගයද ඔසවාගෙන බසයට ගොඩවූ ඔහු එතැනම තිබූ අසුනට බරවූයේ බෑගයද තමා අසලම රඳවාගෙනය.

පිටකොටුවට ටිකට්පතක්ද ලබාගත් හෙතෙම කෙළින්ම ආවේ පිටකොටුවටය. ඒ හංවැල්ල පිටකොටුව 143 පෞද්ගලික බසයකිනි. බස්රිය පිටකොටුවට පැමිණියේ දහවල් 1.15ට පමණය. පිටකොටුවෙන් ගමන් වාරය අවසන් කරන මෙම බස් රථයෙන් මොහු බැස ඇත්තේ ගෑස්පහ හන්දියේදීය. එතැන් පටන් ඔහු ගමන් කළේ පයින්ය. කරේ බෑගයක් දමාගෙන ට්‍රැවලින් බෑගයේ හැඬලයෙන් ඒ බෑගයද ඇදගෙන වේල්ල වීදියට පැමිණි ඔහු හීන් සීරුවේ එය මාර්ගයේ කෙළවරක දමා එතැනින් පැනගත්තේය.

වේල්ල වීදිය පොලිසියට මේ බව සඳහන් තොරතුරක් ලැබෙන්නේ ඊට විනාඩි කිහිපයකට පසුවය. ඒ බොහෝ වෙලාවක් කාත් කවුරුත් නැතිව ගමන් මල්ලක් වේල්ල වීදිය මාර්ගයේ ඇති බව සඳහන් කරමින්ය.

සිද්ධිය දැනගත් වහා වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් බෑගය ඇති තැනට ගොස් එය විමර්ශනය කරද්දී පෙනෙන්නට තිබුණේ එහි මළ සිරුරක් ඇති බවය.

එහෙත් මළ සිරුර කාන්තාවකට හෝ පිරිමියකුට අයත් එකක් බව හැඳින්විය නොහැකි විය. මෙහි විශේෂත්වය වූයේ එම මළ සිරුරෙන් කිසිදු ලෙස රුධිරය ගලා යෑමක් හෝ පිටවීමක් දක්නට නොතිබීමය.

පසුව මේ බව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුද බෑගය දමා ගොස් තිබූ ස්ථානයට පැමිණ එය නිරීක්ෂණය කොට ඒ පිළිබඳව වැඩ බලන කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් දැනුවත් කරන්නට ඔහු පියවර ගත්තේය.

ඒ අනුව අධිකරණයටද කරුණු වාර්තා කරන්නට වේල්ල වීදිය පොලිසිය පියවර ගෙන තිබිණි.

පසුව බෑගය තිබූ තැනට පැමිණි මහෙස්ත්‍රාත්වරිය හා අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරියේ බෑගය විවර කිරීම සිදුවූ අතර එහිදී දැකගත හැකිවූයේ එම බෑගය තුළ දෙකට නමා ඒ තුළ දැමූ තරුණියකගේ මළකඳක් ඇති බවය.

ඒත් ඇගේ හිස කොටස සිරුරේ නොවීය. ඒ අනුව ඇය ඝාතනය කොට එම බෑගය තුළ දමා ඇති බව අනාවරණය වූ අතර ඇය කවුදැයි හඳුනාගන්නා තෙක් එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුනොකරන ලෙසද නියෝග කෙරිණි.

ඉන් පසුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම බෑගය තුළ මරා දමා ඇති තරුණිය කවුදැයි හඳුනාගැනීමටත් එම බෑගය වේල්ල වීදියට ගෙනැවිත් දැමූ පුද්ගලයා සෙවීම සඳහාත් විමර්ශන ඇරැඹිණි.

ඒ අනුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බෑගය දමා තිබූ මාර්ගය හා ඒ අවට සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීම සිදුවිය. ඒ සඳහා විශේෂ කණ්ඩායමක්ද යොදවා තිබිණි. ඒ අනුව වැඩි කාලයක් යන්නට මත්තෙන් බෑගය එතැන දමාගිය පුද්ගලයා හඳුනාගනු ලැබීය.

හැඩිදැඩි තරුණයෙක් කරේ බෑගයක් දමාගෙන දකුණතින් එම විශාල බෑගයද පාර දිගේ ඇදගෙන වේල්ල වීදිය පාරේ එන අයුරුත් ඔහු බෑගය තැනක දමා හීන් සීරුවේ මාරු වී යන අයුරුත් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබිණි.

එය විමර්ශනවලට මහත් පහසුවක් ගෙන දුන්නේය.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුවිය.

"අපි ඉන් පස්සේ හඳුනාගත්තා මේ පුද්ගලයා මේ බෑගය අරගෙන පිටකොටුවේ වේල්ල වීදියට ආව ප්‍රයිවට් බස් එකත් ඒකේ කොන්‍ෙදාස්තරගෙනුත් රියැදුරාගෙනුත් අපි ප්‍රශ්න කළා. එතැනදී අපිට ඒ අය කිව්වා මේ පුද්ගලයා හංවැල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් තමයි නැග්ගේ්. පස්සේ ෂීට් එකේම තමයි ආවේ. ගෑස්පහෙන් තමයි බැස්සේ කියලා. අපි ඒ දෙන්නගේත් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒත් අපිට මේ පුද්ගලයා හරියට නිශ්චිතව හඳුනා ගන්න බැහැ. මුහුණේ මාස්ක් එකකුත් දාගෙන ඉන්න හින්දා. හැබැයි එයා ගමන් කරන විලාසය බෑගය අරගෙන යන විලාසය කිලෝ 45ක 50ක විතර බරක් තියෙන බෑග් එක බස් එකට දාගන්න විදියත් බස් එකෙන් පිටතට ගන්න විදියත් නිසා අපි සැක කළා මේ පුද්ගලයා මොකක් හරි ආරක්ෂක අංශයක සේවය කරන කෙනෙක් වෙන්න ඕන කියලා. මිනිහගේ ඇඟපතත් හොඳට තියෙන කෙනෙක්. මේ මනුස්සයා හංවැල්ලෙන් බස් එකකට නැග්ගා කියලා හෙළිවුණු හින්දා අපි ටීම් එකක් හංවැල්ලටත් යැව්වා. ඒ බස් ස්ටෑන්ඩ් එකට මෙයා කොහෙන්ද ආවේ. කාත් එක්කද ආවේ කියලා සී.සී.ටී.වී. චෙක් කරන්න..."

විමර්ශන සිදුකළ නිලධාරියෙක් කීවේය.

මේ වනවිට හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් සමන්විත කණ්ඩායමක්ද නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය සිදුකරන්නට වූහ.

පොලිසියට මූලිකව අවශ්‍ය වූයේ හිස නැතිව සිටින මෘතදේහය කාගේ කවුදැයි හඳුනාගැනීම හෝ ඇයගේ සිරුර වේල්ල වීදියට රැගෙන එන සැකකරු හඳුනා ගැනීමය.

සිද්ධිය ඊට මොහොතකට පසු විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ මුළු රටේම අවධානය ඊට යොමුවිය. මරා දමා ඇති තරුණිය කවුද, ඇය කිනම් ප්‍රදේශයේ අයකුද?, ඇය මරා හිස නැතිව වේල්ල වීදියට ගෙනඑන පුද්ගලයා කවුද? මෙය පොලිස් විමර්ශකයන්ට මෙන්ම මුළු රටටම මහත් කුතුහලය දනවන්නක් විය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මෙම සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ අතුරුදන් වූ තරුණියන්ගේ හා කාන්තාවන්ගේ ඥාතීන්, මවුපියන්, සැමියන් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා අමතා මියගොස් ඇත්තේ තම ඥාතියාද බව විමසන්නට වූහ.

අතුරුදන් වූ කාන්තාවන්ගේ ඡායාරූප හා විස්තර සලකුණු පවා ඔවුහු ස්ථානාධිපතිවරයා වෙත ලබාදෙන්නට වූහ. එම ඡායාරූප හා විස්තර අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා වෙත යොමුකර එම පින්තූර හා විස්තර මළ සිරුර සමඟ සංසන්දනය කළද එම කාන්තාවන් මෙම සිරුරට හිමිකම් නොකියන බව තහවුරු විය.

මේ අතර ඉකුත් 02 වැනිදා උදය වරුවේ එක්තරා පුද්ගලයකු හංවැල්ල පොලිසියට පැමිණියේය. ඒ වනවිට පොලිසියේ සිටියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත්ය. ඔහු ඒ වනවිට සිටියේ එම විමර්ශනයට අදාළ තවත් රාජකාරියක නිරත වෙමින්ය. ඒ වනවිට හංවැල්ල පොලිසිය කාන්තා ඇඳුම් සහිත බෑගයක් සොයාගෙන තිබිණි. එම බෑගය කාගේදැයි හඳුනාගෙන නොතිබිණි. පොලිස් පරීක්ෂක සුජිත් සිටියේ එම විමර්ශනයේය.

“සර් මම හැමදාම උදේට පත්තරේ බලනවා. අද උදේ පත්තරේ බල බල ඉන්කොට මම දැක්කා පත්තරේ දාලා තියෙනවා ලොකු සූට්කේස් එකක් අතින් ඇදගෙන යන පින්තූරයක්. අර ගෑනියෙක්ව මරලා අරගෙන යන එකක්”

සුජිත් හමුවීමට පැමිණි පුද්ගලයා කීවේය.

“හරි ඉතින්”

“සර් ඒකා මගේ ගෙස්ට් එකෙන් ඊයේ ගිය මිනිහා වගේ කෙනෙක්. මම හෝටලයේ ඉන්නකොට මම දැක්කා ඔය හැඩරුව තියෙන මනුස්සයා ඔය වගේම බෑග් එකක් තල්ලු කරගෙන අපේ හෝටලයෙන් එළියට යනවා. මම හිතන්නේ හෝටලයට ආවේ ඒ මෑන් තමයි.”

ඔහුගේ කතාවෙන් පොලිස් පරීක්ෂක සුජිත් හුන් සිටි තැනින් නැඟිට ගත්තේය. තවදුරටත් ඔහුගෙන් විස්තර විමසන්නටද ඔහු පියවර ගත්තේය.

“එතකොට මිනිහා කෙල්ලෙක් එක්කද ආවේ.”

“ඔව් සර්. ඒත් මිනිහා ගියේ තනියම කෙල්ල පේන්නවත් නැහැ.”

ඔහුගේ ප්‍රකාශයෙන් කලබල වූ හෙතෙම වහා මේ බව ස්ථානාධිපති වසන්ත කුමාර මහතා දැනුවත් කරන්නට විය. ඔහු මේ බව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැවැසීය. ඔහුගේ උපදෙස් මත නිලධාරීන් කෙළින්ම ගියේ අදාළ නවාතැනටය.

“සර්, මිනිහා හිටියේ උඩ තට්ටුවේ 106 කාමරේ” නවාතැන්පොළේ හිමිකරුගේ හා බිරියගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නිලධාරීන් යෙදවුණු අතර හෝටල් කාමර අංක 106 දැඩි ලෙස පරීක්ෂාවට ලක්විය.

''අපි හෝටල් කාමරේ පරීක්ෂා කළා මුළු කාමරයම හෝදලා තිබුණේ. කාමරේ තිබුණු හැම භාණ්ඩයකම වතුර තිබුණා. හොඳට හෝදලා තිබුණා. වතුර ගේන වීදුරු පවා. අපි හිතුවා එහෙම කළේ සාක්කි නැති කරන්නට වෙන්න ඇති කියලා පස්සේ අපි හෝටලයේ පොතක සටහන් කරලා තිබුණු එයාලගේ විස්තර ඉල්ලා ගත්තා. නම් ගම් හැඳුනුම්පත් අංක ගත්තා. ඒවා අපි උසස් නිලධාරීන්ට දැන්වූවා.”

පොලිස් පරීක්ෂක සුජිත් කියන්නට විය. ඒ අනුව හෝටල් පොතේ සටහන් වූ අන්දමට හෝටල් කාමරයට පැමිණි තරුණිය දිලිණි නමැත්තියක් බවත් ඇය කුරුවිට තෙප්පාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් නිලධාරින් අනාවරණය කරගත්තේය. ඇය සමඟ රැඳී ඇති තැනැත්තා 52 හැවිරිදි තැනැත්තකු බවත් ඔහු වෙහෙරගොඩ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැත්තකු බවටත් හඳුනා ගැනිණි.

මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායම් දෙකක් බඩල්කුඹුරටද කුරුවිට තෙප්පාගම ප්‍රදේශය බලා පිටත් කර යැවිණි. ඒ අතරතුර ජාතික හැඳුනුම්පත් අංක ඔස්සේ විමර්ශනයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ ප්‍රේමසිරි නමැත්තා බුත්තල පොලිසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු බවයි.

පසුව පෙරේදා හවස විශේෂ පොලිස් කණ්ඩායමක් බඩල්කුඹුර වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට ගියද ඔහු පොලිස් නිලධාරීන් දැක සූක්ෂ්ම ආකාරයෙන් එතැනින් මාරුවිය. ඒත් ඔහුගේ බිරිය නිවෙසේ සිටියාය. නිලධාරීන් ඇගෙන්ද ප්‍රශ්න කරන්නට විය. පොලිස් කණ්ඩායම ඒ අතරතුර ප්‍රේමසිරි සොයා ඒ අවට නිරීක්ෂණය කරන්නට වූහ. ඔහු නිවෙස පිටුපස ලඳු කැලෑවට පලාගොස් ඇති බව කණ්ඩායමට වැටහිණි. ඒ අනුව නිලධාරීහු ඔහු සොයන්නට මහත් වෙහෙසක් ගත්තද එය සාර්ථක නොවීය.

මේ අතරතුර තවත් සිදුවීමක් සිදුවෙමින් තිබිණි. දිලිනිගේ පාර්ශ්වය ඒ වනවිටත් කුරුවිට සිට කොළඹට පැමිණෙමින් සිටියහ. ඒ මාධ්‍ය මඟින් පෙන්වන විස්තරයට අනුව මරාදමා ඇත්තේ නිවෙසේ සිට ශ්‍රී පාද වන්දනාවේ යන බව කියමින් ගිය දිලිනි දැයි නිවැරැදිව දැන ගැනීමටය....

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙද්දී ඊයේ (03දා) උදෑසන බඩල්කුඹුර පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි නමැත්තා සිය නිවෙස පිටුපස කැලෑවේ ගසක එල්ලී මියගොස් ඇති බවය. වහා නිලධාරීහු සිද්ධිය වූ තැනට ගියහ. ප්‍රේමසිරි නමැත්තාගේ සිරුර ගසක එල්ලෙමින් තිබිණි.
ඔහුගේ උඩුකය නිරුවත්ය. පාද දෙක අසල වස කුප්පියක්ද ඇත. ඒ අනුව නිලධාරීහු සැක කළේ මොහු වස පානය කර එල්ලී දිවි නසාගන්නට ඇති බවය. එහෙත් ඔහු එසේ එල්ලී සිටියේ මන්දැයි සැමටම මහත් ප්‍රහේලිකාවක් විය.

මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක ඇතුළු කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළහ. එහිදී මියගිය පුද්ගලයා විසින් සිය බිරියට ලියන ලද ලිපියක් පොලිසිය විසින් සොයාගත්තේය. එම ලිපියේ මෙසේ සඳහන් විය.

"අම්මාට.... මට සමාවෙන්න. මගේ ජීවිතේ පණ වගේ මගේ පවුල. මොන විදිහෙ වැඩ කළත් මම එක දුන්නේ පවුලට. එය එසේ වෙද්දි එස්.අයි. අන්කල්, එස්.අයි. අන්කල් කිය කියා මෙහෙ මිතුරකුගේ දියණියක් මට ළංවුණා. එයා දැනගත්තා මගේ ළමයට මම කොච්චර ආදරේද කියලා. මුලදී ලොකුවට නොවුණට පසුව ඒ ළමයටත් මගේ දරුවකුට වගේම සලකන්න කිව්වා. එය එහෙම කරන්න මට බැහැ. කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි, ළමයින්ටයි බනින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධෙ කිව්වා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා.

ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරණයි. එත් දැන් මම නීතියේ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයාගන්නකම් ඔයාලට පොලිසිය වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්නට කරගන්නවා. එතකොට ඔයාලාට වධ දෙන්නේ නැහැ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිමත් ගැහැනියක් කියලා. මං දන්නේ නෑ ලෝකේ ගැන. නොදැන නෙවෙයි මම මේවලට පැටළුණේ. ඒත් දැන් ඉතිරිවෙලා නැහැ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනා මම මගේ ජීවිතෙන්ම විඳිනවා. ඒක මගේ වරද.

මම නැතිවුණාට ඔයාලා බලාගන්න කෙනකු ඇති. අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි. මම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කාලයක් යනකොට දුක ඇරිලා යාවි. ලෝකේ ඇතිවෙනවා. නැතිවෙනවා. පවතිනවා. ඒකයි ලෝක ධර්මය. දැනටමත් මාව සී.අයි.ඩී. එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත කතාව කියන්න. කාලයක් තිස්සේ වුණු දෙයක්. ආදරේ කිය කියා ඉඳලා වෛර කළා. මට සමාවෙන්න. තෙරුවන් සරණයි..."

මෙසේ ලිපියක් ලියා ඇති ප්‍රේමසිරි ඔහු සතු බැංකු ගිණුම් හා රහස් අංකද බිරියට ලියා තබන්නට අමතක කළේ නැත. ඒ අනුව බැංකු ගිණුම් තුනක රහස් අංක ඔහු සටහන් කර තිබිණි. එලෙසම ඔහු තවත් දෙයක් බිරියගෙන් ඉල්ලා තිබිණි. “මොන තරම් නින්දා අපහාස ආවත් මහමෙරක් වගේ උසුලගෙන දරුවෝ එක්ක ඉන්න. මේ ලියුම කාටවත් පෙන්නන්න එපා. අම්මගේ තුන් මාසෙ දානෙ කරන්න මට එන්න බැරිවෙයි. මේක ළමයින්ටත් පෙන්නන්න එපා. මම දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මීට ප්‍රේමේ.”

මේ අනුව පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ප්‍රේමසිරි හා දිලිනි සමඟ තිබූ අනියම් සබඳකම ඔහුගේ බිරියද දැන සිටි බවය. ඒ බව ඔහු විසින් ලියන ලද ලිපියෙන් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වනතුරුත් මරා දැමුණු දිලිනිගේ හිස කොටස පොලිස් විමර්ශකයන්ට හමුවූයේ නැත. පොලිසියේ ඊළඟ අරමුණ මරාදැමුණු දිලිනිගේ හිස සොයා ගැනීමය.

ඇගේ හිස හංවැල්ල ප්‍රදේශයේ සඟවා ඇත්ද නැතහොත් බඩල්කුඹුර හෝ වෙනත් ප්‍රදේශයක සඟවා ඇත්ද යන්න සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

මේ අතර විමර්ශනයේ තවත් ගැටලුවක් වූයේ මරා දැමුණු දිලිනිගේ රුධිරය ඇගේ සිරුර දැමූ බෑගයේවත් ගෑවී නොතිබීමයි.

"මෙයා ඒ ගෑනු කෙනාගේ බෙල්ල කපලා තියෙන්නේ පිහියකින්. ඒක අරගෙන තියෙන්නේ හංවැල්ල පොළෙන්. ඒකෙන් තමයි බෙල්ල කපලා ඇත්තේ. පස්සේ තමයි හංවැල්ලට ඇවිත් බෑග් එක අරගෙන යන්නේ. පස්සෙ තමයි ඒකට කෙල්ලගෙ සිරුර දාන්නේ. එතකොට කාලයක් ගිහින්. ඒක තමයි ලේ වැක්කෙරෙන්නේ නැත්තේ කියලයි අපි සැක කරන්නේ.”

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර හා නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක ඇතුළු හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක්ද වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මොනරාගල සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතාගේ ප්‍රධානත්වයෙන් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රටම භීතියෙන් ඇළලී ගිය, වේල්ලවීදියේ කුරිරු ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ සම්පූර්ණ කතාව මෙන්න, ඝාතකයා පැය 24න් සොයා ගත් පොලිසියේ සුපිරි මෙහෙයුම Rating: 5 Reviewed By: lakmina