දරුවන් හත්දෙනාම විසින් රැක බලා ගැනීම පැහැරහැර දමා වැඩිමල් දියණිය විසින් කෑගල්ල මහ රෝහලට භාරදී ගොස් තිබුණු 80 හැවිරිදි වයෝවෘද්ධ හත්දරු මව පෙරේදා (10දා) එකම ලේලිය නැන්දම්මා රැක බලා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර රෝහලෙන් රැගෙන ගිය බව කෑගල්ල මහ රෝහලේ රෝහල් පොලිස් මුරපොළ කියයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලෙන් රැගෙන ගොස් තිබුණේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ උඳුගොඩ එළගල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි හත්දරු මවකි.
කෑගල්ල මහ රෝහලෙන් රැගෙන ගොස් ඇති 80 හැවිරිදි හත්දරු මවට ගැහැනු දරුවන් හය දෙනෙක් හා එක් පිරිමි දරුවෙක් සිටින බව පොලිසිය කියයි. ඇගේ ස්වාමිපුරුෂයා මීට වසර තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.
මෙම හත්දරු මවගේ දියණියන් දෙදෙනකු දැඩි අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් එකම පුතා දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය කියයි. සෙසු දියණියන් සිවුදෙනා කෑගල්ල, මිනුවන්ගමුව ප්‍රදේශයේත් කැලණිය, කිරිබත්ගොඩ ප්‍රදේශයේත් උඳුගොඩ, උඩගොඩ ප්‍රදේශයේත්, කෑගල්ල, මලවිට ප්‍රදේශයේත් පදිංචි බව පොලිසිය කියයි. අක්කර දෙකක් වූ මහ ගෙදර නිවෙස සහිත එකම ඉඩම පුතාට ලියාදී ඇති අතර එම ඉඩමේ මේ වන විට කිසිම පුද්ගලයෙක් පදිංචිව නොමැති බවද පොලිසිය කියයි. එම ඉඩමේ කරාබු ගස් විශාල සංඛ්‍යාවක් ඇති අතර පසුගිය වාරයේදී කරාබු ගස් ටික බදුදී පිරිමි දරුවා රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක මුදලක් ලබා ඇති බව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම වයෝවෘද්ධ මවට සුළු මානසික රෝගයක් හට ගැනීමෙන් පසු වැඩිමහල් දියණියක් විසින් ඇය රැක බලා ඇති බවද පොලිසිය කියයි. පසුව එකම පිරිමි දරුවාද දඹුල්ලට රැගෙන ගොස් කලක් රැක බලාගෙන ආපසු වැඩිමහල් සහෝදරියට ගෙනත් භාරදී තිබුණේ අම්මා රැක බලා ගැනීමට අපහසු බව දන්වමින් බව පොලිසිය කියයි. වැඩිමල් දියණියද කලක් රැක බලාගෙන සිටි අවස්ථාවේදී පසුව මවට ඇප උපස්ථාන කළ නොහැකි බව දන්වා කෑගල්ල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කෙරිණි. පසුව කෑගල්ල පොලිසිය දරුවන් හත්දෙනාම කැඳවා දීර්ඝ විමර්ශනයක් කෙරිණි. එහිදී එක දරුවෙක්වත් වයෝවෘද්ධ මව රැකබලා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර නොතිබුණු බව පොලිසිය කියයි. පසුව එක් දරුවෙක් මාස දෙක බැගින් සිය මව රැක බලා ගත යුතු බව පොලිසිය දැන්වීමෙන් පසුව පිරිමි දරුවා පළමුව මව දඹුල්ල, කණ්ඩලම නිවෙසට රැගෙන ගිය බව පොලිසිය කියයි.
ඔහුගේ මාස දෙකක කාලය නිමා කිරීමෙන් පසුව කෑගල්ලේ පදිංචි වැඩිමහල් සහෝදරියට ගෙනත් භාරදී තිබිණි. පසුව ඇය දින කිහිපයක් රැක බලා ගැනීමෙන් පසුව කෑගල්ල මහ රෝහලට මීට මසකට පමණ ඉහතදී භාරදී ගොස් තිබිණි. කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මෙම වයෝවෘද්ධ මව බැලීමට කිසිම දරුවෙක් සති දෙකක තුනක කාලයක් පැමිණ නැති බවත් ප්‍රතිකාර අවසන් කර සතියක් පමණ ගිය අවස්ථාවේදී ඉකුත් 01දා පිරිමි දරුවා හා බාල දියණිය මව බැලීමට කෑගල්ල මහ රෝහලට පැමිණි අවස්ථාවේදී වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් දරුවන් දෙදෙනා රෝහල් පොලිස් මුරපොළට යොමු කෙරිණි.
කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ටී.ආර්.ටී.පී. තෙන්නකෝන් මහතා මවගේ පුතාට හා දියණියට දීර්ඝ විස්තරයක් සහිත කරුණු රාශියක් පැහැදිලි කළේය. පසුව පුතා එහිදී තමන් ඇතුළු දරු පවුලත්, බිරියගේ මවත් එකම නිවෙසේ වාසය කරන බැවින් යළි තම මව රැගෙන යෑම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි. දියණිය පොලිසියට හැඬු කඳුළින් ප්‍රකාශ කර සිටියේ තමා ස්වාමිපුරුෂයා හැරගොස් ඇති බවත් එකම දියණිය සමඟ කිරිබත්ගොඩ පදිංචිව සිටින්නේ කුලී නිවෙසක බවය.
දරුවන් හත්දෙනා යම් මුදලක් එකතු කරගෙන යම් කෙනකුට දී අම්මා රැක බලා ගැනීමට යොමු කිරීම කාලෝචිත බව එහිදී දියණිය පොලිසිය හමුවේ පැවැසුවාය. පසුව පිරිමි දරුවා හා දියණිය සෙසු සහෝදරියන් සමඟ කතා බහ කොට විගස පැමිණෙන බව දන්වා රෝහල් පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය කියයි. පෙරේදා (10දා) දඹුල්ලේ පදිංචි පුතා ලේලිය සමඟද, තවත් ගැහැනු දරුවන් දෙදෙනෙක්ද මිනිපිරියන් දෙදෙනක්ද කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළට පැමිණ තිබිණි. එහිදී අනාවරණය වී ඇත්තේ එකම පිරිමි දරුවා සතියකට පමණ ඉහතදී පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය තොරතුරු බව පොලිසිය කියයි. ඔහුගේ නැන්දම්මා වෙනත් නිවෙසක පදිංචිව සිටින බවත් ලේලිය සිය කැමැත්තෙන්ම නැන්දම්මාට සලකන බව දන්වා කෑගල්ල මහ රෝහලෙන් රැගෙන ගිය බවත් පොලිසිය කියයි.
කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ටී.ආර්.ටී.පී. තෙන්නකෝන් මහතා මෙහිදී විමර්ශන කටයුතු සිදු කළේය.
මව්බිම
