728x90 AdSpace

Latest News
Monday, 1 March 2021

"රුපියල් 1500ක් ගන්නවා, ඕස්ට්‍රේලියාවෙන් ගේන බෙහෙත් දෙන්නේ.." - ගෙදරටම ගිහින් බෙහෙත් කරන හොර දොස්තරගේ නාඩගම මාට්ටු වුණු හැටි

වෛද්‍යවරියකු පිළිබඳ ඉකුත් සතියේ අපූරු කතාවක් ඇසිණි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක ලෙස ද, කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙසද පෙනී සිටි මහාචාර්යවරියක් නිවෙසටම ගොස් ප්‍රතිකාර ලබා දීමට තරම් කැපවී සිටි ආරංචියක් කන වැකිණි. ඇය ගම්පහ මිනුවන්ගොඩ සහ මීගමුව පෙදෙස්වල පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හරහා රෝගී ප්‍රතිකාර ලබා දෙමින් සිට ඇත. එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නමින් පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරියගේ ලියාපදිංචි අංකය 18565 ලෙස සදහන් කර ඇත. හොරු අතට හසුව ඇත්තේ එතැනිනි.

 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි 18565 අංකයේ නම සදහන් වන්නේ, එච්.කේ. හෙට්ටිආරච්චි හෙවත් හිරෝෂිණී කෞශල්‍යා හෙට්ටිආරච්චිය. ඇය මහනුවර ජාතික රෝහලේ හතේ වාට්ටුවේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය නිලධාරිනියකි. ඇය දෙදහස් දෙකේ අප්‍රේල් පළමුවැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරියක ලෙස උපාධිය ලබයි. දෙදහස් තුන වසරේ සිට සීමාවාසික පුහුණුව ලබා දෙදහස් හතරේ පෙබරවාරි තුන්වැනි දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙයි. ඇය 18565 අංකය යටතේ වෛද්‍ය වෘත්තීය අරඹා ඇති එච්. කේ. හෙට්ටිආරච්චි වෛද්‍ය නිලධාරිනියය. ගම්පොළ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිලධාරියෙක් ලෙසද මහනුවර දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් ලෙසද, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිලධාරිනියක් ලෙස සේවය කර ඇත. මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියාන් කුරුකුලසූරිය මහතා ඇයගේ ස්වාමියාය. ඔහුගේ විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජධානිය වෙත පිටත්ව යෑමේදී වෛද්‍ය කෞෂල්‍යාද ඔහු සමග ගොස් ඇත. වසර එකහමාරකට පසුව යළි පැමිණ තිබේ. දෙදහස් පහළොවේ මැයි මස සිට නැවත එච්.කේ. හෙට්ටිආරච්චි වෛද්‍යවරිය මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක හතෙහි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිලධාරියක් ලෙස මේ වන තුරු සේවයේ යෙදී සිටී.
 
ඇයගේ පෙනුමටද සමාන කම් ඇති ව්‍යාජ වෛද්‍යවරියක පිළිබඳ තොරතුරු කන වැකෙන්නේ ඉකුත් පෙබරවාරි දහහත් වැනිදාය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය වෘත්තීයට පිවිසි ඇයට පසු කණ්ඩායමක සහෝදර ළමා විශේෂඥ වෛද්‍යවරයකු විසින් කී තොරතුරක් හරහාය.
 
මේ සම්බන්ධයෙන් එච්.කේ. හෙට්ටිආරච්චි වෛද්‍ය නිලධාරිනිය කියා සිටියේ මෙලෙසය.
 
”මගෙන් ඇහුවා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය. 18565 බව මම කී විට, අදාළ ළමා විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා ඒ අංකයටම වෙනත් මහාචාර්යවරියක් ඉන්නවා. ඇයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බවට සඳහන් කළ හඳුන්වා දීමේ පතක්   (visiting card) එකක් මම අඳුනන කෙනෙක් එවා තිබෙනවා කියාය. මෙම මහාචාර්යවරිය ලෙස සඳහන් අය නිවෙසටම ගොස් ප්‍රතිකාර කරන බවද ඔහු කියා සිටියා.
 
වෛද්‍ය වෘත්තීය අනුව , මහාචාර්යවරු නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ශල්‍යකර්මයක් කරන්න තිබෙන ලෙඩෙකුට ශල්‍යකර්මය නොකර ඖෂධ ලබා දී තිබෙන බවද කියා සිටියා. මේ පණිවිඩයට අනුව, අපි ඇයගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළා. ඇය පෙනුමෙන් මට සමානකමක් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් බවද සඳහන්. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් බවද සඳහන්.
 
මෙතන සැකය ඉස්මතු වූ කරුණු කිහිපයක්ම තිබුණා. ඒක ඇයගේ ගිණුමේ සඳහන් වෙනවා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය කියලා. මෙලෙස අංශ දෙකක විශේෂඥ වෛද්‍ය සේවයේ නියැළෙන කිසිවෙක් ලංකාවේ තවම බිහිවී නැහැ. අනෙත් කරුණ තමයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙසත් මහාචාර්ය ලෙසත් සඳහන් වෙනවා. මහාචාර්ය තනතුරට උසස් වූ විට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි භාවිත කරන්නේ නැහැ. මේ සියලූම කරුණු මත සැකය වැඩි වුණා.
 
මට ෆේස්බුක් ගිණුමක් නැති නිසා අනතුරුව වෛද්‍ය ප්‍රියාන් මගේ ස්වාමියාගේ ගිණුමෙන් අපි මිතුරකු වීම සඳහා ඉල්ලූම් කළා. ටික වේලාවකින් අදාළ එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නමින් පෙනී සිටි ඇය අපේ ඉල්ලීම අනුමත කළා. එසැනින් ඇයගේ ගිණුමේ සඳහන් දෑ අපට බලා ගන්න පහසු වුණා. විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බව ගිණුමේ සඳහන්ව තිබුණා. ඇය උපාධිය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් ගිණුමට යොදා තිබුණා. ඇයගේ ලෝගුවේ මැද පටිය දුඹුරු පාටයි. නමුත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ලෝගුව සමග වන පටිය (garlend) දම් පාට බව කවුරුත් දන්නවා. ඇය මිනුවන්ගොඩ (familycare medical center) පවුලේ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත්, මගේ අංකය භාවිත කරන බවටත් වූ තොරතුරු රැසක් දැකගත හැකි වුණා. ඒ තොරතුරු සියල්ල මම කොපි කරගත්තා.
 
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතාට මේ සියලූ කරුණු ඉදිරිපත් කළා. අනතුරුව ඔහු මගින් වෛද්‍ය සභාවටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අංශයටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් පැමිණිලි කළා. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සහ මිනුවන්ගොඩ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ද මේ බව දැනුම් දුන්නා.
 
මම පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නේ නැහැ. පුද්ගලික රෝහල් දෙකක විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකු සදහා සහාය වීමට ශල්‍යාගාර වෙත විටින් විට යන අවස්ථා තිබෙනවා. ඒ හැර මම බාහිරව පුද්ගලිකව මුදලට ප්‍රතිකාර නොකරන වෛද්‍යවරියක්.
 
ඇය මිනුවන්ගොඩ ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශවල ජනතාවට ප්‍රතිකාර ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් රෝග ප්‍රතිකාර ඖෂධ වට්ටෝරුවලින් ලබාදී ඇති ඖෂධ අතුරු ආබාධ සහිත ඒවා බවට දුටු හැටියේ නිගමනය වෙනවා. මෙවන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් කොපමණ සිටිනවාද යන්න තවම සොයාගෙන නැහැ. එය ඇත්තෙන්ම බරපතළ තත්ත්වයක්. මේ නිසා ඇයගෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් වහාම සැබෑ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමුවන්න. තමන් මුහුණ දුන් අත්දැකීම හෝ දැනුම්දී මේ වන විට පාවිච්චි කළ ඖෂධ පිළිබඳව දැනුවත් වීම සඳහා එය අත්‍යවශ්‍ය බව සිතන්න. සිරුර අභ්‍යන්තරයට ඖෂධයක් ලබා දෙනවා කියන්නේ එහි ප්‍රතිඵල දවසින් දෙකෙන් නොව වසරක් ගිය පසු වුවත් පැමිණිය හැකි තත්ත්වයක් තිබෙනවා. එබැවින් වහාම වෛද්‍ය උපදෙස් හෝ ලබා ගැනීමට ඉක්මන් වන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
 
දහහත් වැනි දින සිදුවූ මේ කලබැගෑනියට අදාළ සියලූ තොරතුරු සහිතව එච්.කේ. හෙට්ටිආරච්චි වෛද්‍යවරිය පෙබරවාරි දහඅට වැනි දින මහනුවර පොලිසිය වෙත යන්නීය. මහනුවර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධර්මප්‍රිය මහතා වෙතද යන ඇය විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනූෂ පියදාස මහතා හමුවේ පැමිණිලි කර තිබේ. එම අංශය මගින් මිනුවන්ගොඩ පොලිසිය දැනුවත් කොට අදාළ සැකකාරිය ගෙන්වා ගැනීම පිණිස කටයුතු කර තිබිණි. ඉකුත් ඉරිදා දින ඇය ගෙන්වා ගැනීමට කටයුතු කළද ඇය නොපැමිණීම හේතුවෙන් මේ පිළිබඳව වෛද්‍ය නිලධාරිනිය මාධ්‍ය දැනුවත් කර තිබේ. මාධ්‍යවේදියකු විසින් මිනුවන්ගොඩ ව්‍යාජ වෛද්‍ය නිලධාරිනියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. එවිට ඇය පවසා ඇත්තේ මේ වන විට හදිසි වැඩකටයුතු කිහිපයකට ගොස් සිටින බවය. කාලය වෙන් කර දිය හැක්කේ අගහරුවාදා බවද ප්‍රතිකාර සඳහා රුපියල් එක්දහස් පන්සියයක මුදලක් ගෙවිය යුතු බවද ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන ඖෂධ ලබා දෙන බවද ඇය දුරකථනයෙන් පවසා තිබේ. මේ අනුව පොලිසියත් අදාළ වෛද්‍යවරියත් ඇය නුවරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියහ. ඇය නුවරට ආවේ විසි දෙවැනිදා සඳුදාය.
 
ඒ වන විට ඇය සිටි ෆේස්බුක් ගිණුම වෙනස් කිරීමටද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය වෙනස් කිරීමටද කටයුතු කර ඇත. ඇය යොදා තිබූ නව අංකයද හෙට්ටිආරච්චි වෛද්‍ය නිලධාරිනිය විසින් පරීක්ෂා කරන ලදුව එයද ව්‍යාජ අංකයක් බව තහවුරු කරගෙන තිබිණි. මේ අතර ඇය මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා ද දැනුවත් කර තිබිණි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය වෙත යොමු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි. විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ගුරුනායක මහතාගේ මෙහෙයවීමෙන් අදාළ විමර්ෂණ ආරම්භ කළ අතර ඒ වන විට සැකකාර කාන්තාව මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වන අනූෂ මහතා වෙත පැමිණ සිටියාය. විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය විසින් ඇය රඳවා ප්‍රශ්න කළහ. පෙබරවාරි විසිතුන් වැනි දින සාජන් බණ්ඩාර මහතා විසින් සැකකාරිය මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.
 
සාජන් බණ්ඩාර මහතා විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව ”මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම විහිළුවක්දැ” යි මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ විවෘත අධිකරණයේදීය. දින දහහතරක් හෙවත් මාර්තු දහවැනි දින තෙක් සැකකාරිය වන එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නැමැති ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
 
සමන්තී වීරසේකර
දිවයින
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "රුපියල් 1500ක් ගන්නවා, ඕස්ට්‍රේලියාවෙන් ගේන බෙහෙත් දෙන්නේ.." - ගෙදරටම ගිහින් බෙහෙත් කරන හොර දොස්තරගේ නාඩගම මාට්ටු වුණු හැටි Rating: 5 Reviewed By: lakmina