728x90 AdSpace

Latest News
Wednesday, 17 February 2021

“එයා මැරුණු අම්මාගෙන් කිරි උරා බොමින් ඉඳලා තියෙන්නේ” - කොටි ගහද්දි, අම්මගෙත් අයියලා දෙන්නගෙත් මිනී-වලට යටවී බේරුණු මාස එකහමාරක් වයස බිළිඳා-ගේ අද කතාව

පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාරු ගම්මනායට මීට වසර විසි පහකට පමණ පෙර කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකදී මියගිය තම මව හා සහෝදරයන් දෙදෙනාගේ සිරුරුවලට යටවී දිවි බේරාගැනීමේ වාසනාව හිමිවූ එවකට වයස මාස එකාහමාරක් වූ බිළිඳකු මේ වන විට තරුණයෙකුව යුද හමුදාවට බැඳුනු සිදුවීමක් වනාතවිල්ලුව ග්‍රාමයෙන් අසන්නට ලැබෙනවා.

දිනේෂ් අකලංක නම් මේ තරුණයා මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක්.

එදා කොටි එල්ල කළ ප්‍රහාරයෙන් අකලංකගේ පවුලම විනාශ වුණා. එවකට මාස එක හමාරක් වූ බිළිඳු අකලංක තම මවගේ හා සොහොයුරන්ගේ සිරුරුවලට යට වුණා.

යටවී සිටි බිළිඳා නොදුටු ත්‍රස්තවාදීන් එතනින් ඉවත්ව යද්දි ඔහු බේරාගත්තේ ඔහුගේ සීයායි (මවගේ පියා.) මියගිය අයකු මෙන් සිටීම නිසා කොටින්ගෙන් බේරුණු ලියනගේ සෝමපාල නම් (අකලංකගේ මවගේ පියා) ආබාධිතයෙක්. කකුලක් අහිමි ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන කරන්නෙක්.

කොටි ප්‍රහාරයෙන් දිවි බේරාගත් එම ගමේම පදිංචි 72 හැවිරිදි ජේන් මැටිල්ඩා මහත්මිය සිය මතකය අවදි කළේ මෙලෙසින්.

"අපේ ගමට 1996 වසරේ ජූලි මාසයේ 11 වැනිදා මහ රෑ කොටි ගැහැව්වා. එකම පවුලේ අට දෙනෙක් ඒ ප්‍රහාරයෙන් මිය ගියා. මගේ ලේලි රේණුකා දමයන්ති, එයාගේ අවුරුදු 10ක් වයස සහ 7ක් වයස පුතුන් දෙදෙනාත් සිටියා. කුඩා දරුවන් දෙන්නට දස වධ දීලා තමා මරලා තිබුණේ..."

"අකලංකගේ සීයාගේ එක පාදයක් ඒ වෙනකොටත් ශල්‍යකර්මයකින් ඉවත් කරලා තිබුණේ. කොටි ප්‍රහාරයෙන් සෝමපාලත් බේරුණා. අකලංක එයාගේ මවගේ සහෝදරයන්ගේ සිරුරුවලට යටවෙලා ඉන්නවා ඒ සිරුරු පෙරළා බලද්දි සෝමපාල දැක තිබෙනවා. ඒ වෙනකොට අකලංකගේ වයස මාස එක හමාරයි.."

"පුංචි අකලංක මියගිය මවගෙන් කිරි උරා බොමින් ඉඳලා තියෙන්නේ. ඒ බව සෝමපාල අපිට පසුව කිව්වා. සෝමපාල මීට වසර පහකට කලින් මිය ගියා. කොටි ප්‍රහාරයේදී සෝමපාල මැරුණ විදිහට හිටපු නිසා ජීවිතය බේරුණා.. කොටි ගියාට පස්සේ සෝමපාල ඇඳ සිටි සරම ගලවා මාස එකාහමාරක් වයස අකලංක ඒ තුළ දමාගෙන හතරකොන ගැට ගසා එය කටින් හපාගෙන කිහිලිකරු ආධාරයෙන් වෙඩි හඬ මැද්දේ යට ඇඳුම පිටින් කළුවරේ යද්දි සරමේ දමා කටින් එල්ලගෙන ගිය අකලංකව දිය කඩිත්තට වැටිලා තියෙනවා. ඒ දිය කඩිත්තනේ ගොඩට අරගෙන ඇවිත් තමා අකලංකව එදා බේරගත්තේ.."

"එදා ඉඳන් අකලංක ලොකු මහත් කරලා මේ තත්ත්වයට ගෙනාවේ මමයි. මගේ මහත්තයා චන්ද්‍රසේනයි. අද ඉන්න තැන ගැන අපි දෙන්නා හරි සතුටු වෙනවා. ඒ වගේම එයා අපිටත් හරි ආදරෙයි. අපිව රැකබලාගන්නේ ඔහු.. පුතාට හොඳ බිරිඳක් ඉන්නවා දැන්.."

"ගමට කොටි ගැහැව්වට පස්සේ හිටපු ඇමතිවරුයෙකුගේ බිරිඳක් ඇවිත් වාසනාවන්ත දරු පැටියෙක් කියලා දරුවව දරුකමට හදාගන්න ඉල්ලුවා. නමුත් අපි දරුවා දෙන්න කැමති වුනේ නැහැ.."

අකලංක මේ වන විට විවාහ ගිවිස ගෙන සිටිනවා. ඔහුගේ මනාලිය මිනුවන්ගොඩ බඩල්ගම පදිංචි අනුරාධා සඳරේඛාය. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මීගමුව කොච්චිකඩේ රසායනාගාරයක සේවය කරනවා.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “එයා මැරුණු අම්මාගෙන් කිරි උරා බොමින් ඉඳලා තියෙන්නේ” - කොටි ගහද්දි, අම්මගෙත් අයියලා දෙන්නගෙත් මිනී-වලට යටවී බේරුණු මාස එකහමාරක් වයස බිළිඳා-ගේ අද කතාව Rating: 5 Reviewed By: lakmina