අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ අධිකරණ නියෝග මත රැකවරණය ලබමින් සිටින දැරියන්ට මනෝ උපදේශනය ලබා දෙන මුවාවෙන් සහ යෝග ව්‍යායාම කියා දෙන මුවාවෙන් ඔවුන්ට විවිධ ලිංගික අතවර සිදු කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සහ උණ රෝගය වැලඳීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම ළමා නිවාසයේ දැරියක් තම නිවසට රැගෙන ගොස් ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරු ලබන 26දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළා.
මෙසේ රිමාන්ඩ් කළේ කළමනාකරු වන නලින්ද කැලුම් සේනානායක නමැති 46 හැවිරිදි විවාහයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ අධිකරණ නියෝග මත රැකවරණය ලබමින් සිටින දැරියන්ට මනෝ උපදේශනය සහ යෝග භාවනාව කියා දෙන මුවාවෙන් මෙම සැකකරු ඔවුන්ට විවිධ ලිංගික අතවර සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි.
මෙම ළමා නිවාසයේ දැරියකට උණ රෝගය වැලඳීම හේතුවෙන් ළමා නිවාස පාලිකාව විසින් ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු මනෝ උපදේශනය සහ යෝගා ව්‍යායාම කියා දීමට බව පවසා ළමා නිවාසයට යන එන අතරතුර හඳුනාගෙන ඇති මෙම දැරිය රෝහලින් ඉවත් කර (ටිකට් කපා ගෙන) ගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් විවිධ ලිංගික අතවර සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළිවිනැයිද පොලිසිය පැවැසීය.
මෙම අපරාධමය සිද්ධීන් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.
මෙම සැකකරු අනුරාධපුර සහිරා දෙමළ ජාතික පාසලේ පුටු තොගයක් පැහැර ගෙන ගොස් පෞද්ගලික උපකාර පන්ති මෙහෙයවන පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියකට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙසද නම් කර සිටී.
සැකකරු වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක යමුනා කාන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක අලහකෝන් සහ සැරයන් දයානන්ද (28163) යන මහත්වරු පෙනී සිටියහ.
අනුරාධපුර - ආනන්ද කරුණාදාස
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්.
