කොවිඩ්-19 වසංගතය අද මුළු රටම ගිලගෙන හමාරය. කොරෝනා රෝගය ව්‍යාප්ත වූයේ අසාමාන්‍ය ආකාරයෙනි. හුස්ම පොදකින්, කෙළ බිඳුවකින් ව්‍යාප්ත වුණු වයිරසයෙන් ලෝකයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මරණයට පත්වූහ. මෙම භයානක වසංගතයට බිය වූවන් මෙන්ම ඊට නොබියව මුහුණ දෙන්නෝ ද වෙති.
විටෙක රට වසා දැමිණි. බොහෝ රැකියා ස්ථාන වැසී යන්නට විය. රාජකාරි කටයුතු නිවෙසට සීමා විය. එහෙත් එලෙස නිවෙසට වී කරන්නට බැරි රාජකාරිද විය. සෞඛ්‍ය සේවයට අනුයුක්ත පිරිස මෙම කර්තව්‍යයේ මුල් තැනක් ගත්හ. වෛද්‍යවරු, හෙදියන්, සාත්තු සේවිකාවන් පමණක් නොව සුළු සේවකයෝද කොරෝනා රෝගීන් සමග උරෙනුර ගැටී මේ භයානක වසංගතයට මුහුණ දුන්හ.
තම දිවි නොතකා දන්නා නොදන්නා රෝගීන්ගේ ජීවිත රැකදීමේ සද්කාර්යයෙහි නිරත වූ සුදේශ්ද එවැන්නෙකි. සුදේශ් වරුණ ශාන්ත සේවාව කරන්නේ උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරා ලෙසය. සෙසු ගිලන් රථ රියැදුරන් මෙන් සුදේශ් ද රෝගීන්ට පිහිට විය. එහෙත් එහි ඇති විශේෂත්වය නම් සුදේෂ් මරණ බය දැනි දැනීත් කොවිඩ් රෝගීන්ට පිහිට වීමය. දකුණු පළාතේ කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනයෑමේ කාර්යභාරය ඉටු කළේ සුදේශ්ය. ඒ වෙනුවෙන් පසුගියදා ඔහු “සුව විරු” සම්මානයට හිමිකම් ලැබීය. පසුගිය මාස නවයක කාලය තුළ සුදේශ් රෝහල්වලට හා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන ගිය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365කට අධිකය. ඔහු සිය ගිලන් රථය පදවාගෙන නිරෝධායන මධ්‍යස්ථානවලට ගිය වාර ගණන 1700 ද ඉක්මවා ඇත.
දැඩි ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කෙරුණ ද මේ ගමන් සුදේශ් තුළ ඇති කළේ කිසියම් චකිතයකි. මේ හැම ගමන් වාරයකදීම සිය ආදරණීය බිරියත්, වයස අවුරුදු දෙකහමාරක් වූ චූටි දියණියත් සුදේශගේ සිහියට නැඟිණි. එහෙත් ඔහු අසරණ කොරෝනා රෝගීන්ට පිහිට වූයේ බිරියගේ ආශීර්වාදය ලබමිනි.
“ඔයා කොහේ ගියත් මට කමක් නැහැ... පරිස්සමින් යන්න.” ඔහුට ඒ ශක්තිය දෙන්නට ඇයට හැකි වූයේ ඇය රෝහල් සේවිකාවක් වූ නිසා විය යුතුය.
“උදේට වාහනේ අතට ගත්තම කීයට වැඩ ඉවර වෙනවද කියන්න දන්නේ නැහැ... එක දිගට ම වැඩ. කවුරු හරි කොරෝනා ලෙඩෙක් බස්සවල ආපු ගමන් ගෙදර මතක් වෙනවා. ඒ හින්දා රෑ කීයට හරි නානවා. නාල පැය භාගයක් විතර ගියාම ආයෙත් කතා කරලා කියනවා තව ලෙඩෙක් පොසිටිව් වෙලා ඉක්මනට එන්න කියලා. සමහර දවස්වලට මායි මගේ සහායකයායි දවසට හත් අට සැරේ නාල තියෙනවා.”
සුදේශ් එසේ කියන්නේ නිහතමානීවය. කොයි මොහොතේ හෝ කැඳවූ වහාම ඒ සඳහා ඔහු නොබියව ඉදිරිපත් විය. දිනේෂ්ද ඔහුගේ සහායට සිටියේය.
“මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් එකේ කට්ටියක් කොග්ගල බීච් හෝටලේ නතර කරලා හිටියා. ඒ අයට පී.සී.ආර්. කරලා පොසිටිව් කියලා දැනගත්තම මට තමයි එයාලව රෝහල්වලට ඇඩ්මිට් කරන්න තිබුණේ. ඒ නිසා මට කාත්තන්කුඩි, වැලිකන්ද, අයි.ඩී.එච්., යාපනය, මුලතිව්, ඉරණවිල වගේ ඉස්පිරිතාලවලට යන්න සිද්ධ වුණා. ඒ වගේම ගෙවල්වල ඉන්න කොරෝනා පොසිටිව් වුණු අයත් එක්ක යන්න වුණා.”
“දවසක් අපේ සර් කිව්වා කොග්ගල බීච් එකේ ලෙඩ්ඩු හත්දෙනෙක් ඉන්නවා පී.සී.ආර්. පොසිටිව් වෙලා. එයාලා පුළුවන් ඉක්මනට කාත්තන්කුඩි ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා. මම හා කියලා කොග්ගල බීච් එකට ගිහින් ඒ හත්දෙනාවම මගේ ඇම්බියුලන්ස් එකට දාගත්තා. වයසක අම්මල තුන්දෙනකුයි, බ්‍රැන්ඩික්ස් එකේ ළමයි හතර දෙනකුයි හිටියා.”
“එදා දිනේශ් තමයි මගේ සහායකයා විදිහට හිටියේ. අපි ලෙඩ්ඩුත් දාගෙන කාත්තන්කුඩිවලට පිටත් වුණා. කොරෝනා ලෙඩ්ඩු ඉන්න හින්දා තේ එකක් බොන්නවත් වාහනේ කඩේක නතර කරන්න බැහැ. මිනිස්සුත් බය වෙනවනේ. පුළුවන් වේගයෙන් මම නොනවත්වාම ගියා. මොණරාගල කැලේ පහුකරද්දී එක ගෑනු ළමයෙක් වීදුරුවට ගහලා කිව්වා “අයියේ මේ අම්මා කෙනකුට හුස්ම ගන්න බැරුව දඟලනවා හොඳට ම අමාරුයි කියලා. මම වාහනේ පාර අයිනෙ නතර කරලා පිටිපස්ස බැලුවා. එක අම්ම කෙනෙක් හුස්ම ගන්න බැරිව දඟලනවා. මම ඉක්මනට ජීවන්ත සර්ට කෝල් කරලා කිව්වා. එතකොට සර් කිව්වා එකම දෙයයි කරන්න තියෙන්නේ, ළඟම තියෙන මූලික රෝහලකට ගෙනියන්න කියලා.
මම හොයලා බැලුවා. බැලුවම මූලික රෝහලකට තව කිලෝමීටර 80ක් විතර යන්න ඕනෑ කියලා දැනගත්තා. මම ආයෙත් ඒ ගැන කිව්වා. එතකොට සර් කිව්වා පුළුවන් දෙයක් කරන්න කියලා.
ඒ පාර මම වාහනෙන් බැහැලා මීටරයක පරතරයක් තියාගෙන අර හුස්ම ගන්න අපහසුවෙන් දඟලන වයස අම්මට ගෑනු ළමයින් ලවා පොඩ්ඩක් පහත් කරලා ඔළුව උඩට උස්සලා නිදහසේ තියන්න සැලැස්සුවා. ටික වේලාවක් යන කොට ඒ අම්මට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුණා. මම දෙවියන්ට වැඳලා ආයෙත් ගමන පටන් ගත්තා. උදේ හයට ගාල්ලෙන් ගත්ත වාහනේ එකදිගටම එළවලයි රෑ 1.00ට විතර කාත්තන්කුඩි ගියේ.”
සුදේශ් තම අත්දැකීම් එලෙස විස්තර කරන්නේය. ජීවිතයත් මරණයත් අතර සටනක සිටින කොරෝනා රෝගීන්ද සුදේශ් සමඟ එම ගිලන් රථයේ ගොස් ඇත.
“අනේ මල්ලී ඉක්මනට යමු!”
“අයියේ අම්මට අමාරුයි... හුස්ම ගන්න බැහැ. පොඩ්ඩක් ඉක්මන් කරමුද...?”
මෙවැනි ඉල්ලීම් හැම කොරෝනා රෝගියකුගෙන්ම ලැබෙන බව ඔහු කීවේය.
“සමහර වෙලාවට සර්ලා කියනව පැය භාගයෙන්, විනාඩි දහයෙන් පහළොවෙන් යන්න කියලා. සමහර වෙලාවට පාරේ ට්‍රැෆික්. ඒත් මම ලයිට් ගහගෙන, එළාම් ගහගෙන පුළුවන් ඉක්මනට ගිහින් ලෙඩාව රෝහලට දානවා. එතකොට ඒ අය මට පින් දෙනවා. මගේ ටැලිෆෝන් නොම්බරේ ඉල්ල ගන්නවා.
“ඔයාට පින් සිද්ධ වෙනවා අපේ අම්මගේ ජීවිතේ බේරලා දුන්නට...” එහෙම කියපු අය හුඟක් ඉන්නවා.
මේ එවන් තවත් දවසකි. උදේ සිට කොරෝනා රෝගීන් හම්බන්තොට රෝහලට රැගෙන ගිය ඔහු සිය නවාතැන වූ උණවටුන රෝහලට විඩාබරව ආපසු ආවේ ඇඟපත සෝදාගෙන යමක් කා නින්දට වැටීමේ අදහසිනි.
“හරියට රෑ 11.20 විතර ඇති. දිනේශ් අපේ වාහනය හෝදන්න ගත්තා. ඒ වෙලාවේ සුධීර සර් මට කෝල් කළා. සුධීර සර් තමයි ට්‍රාන්ස්පෝර්ට් කෝඩිනේටින් කරන්නේ...”
සුධීර සර් මට කිව්වා “සුදේශ් බැරිය කියන්නම බැරි වැඩක් තියෙනවා. මේක කොහොම හරි කරන්න ඕනෑ. නැත්නම් අපි මෙච්චර කල් කරපු එක වැඩක්වත් වැඩක් නැහැ” කියලා.
“ඇයි සර් කියන්න මොකක්ද කරන්න ඕන කියලා” මම ඇහැව්වා.
“ගාල්ල හොස්පිටල් එකේ අම්මෙකුයි, දුවෙකුයි ඉන්නවා. ඒ දෙන්නම කොරෝනා පොසිටිව්. මේ දෙන්නව පැය භාගයක්, විනාඩි හතළිස්පහක් ඇතුළත නෙවිල් ප්‍රනාන්දු ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනෑ... බැහැයි නොකියා මේ උදව්ව කරලා දීපන්. මම දන්නවා උඹට මහන්සියි කියලා. සර් එහෙම කිව්වම “කමක් නැහැ සර් මම යන්නම්” කියලා දිනේෂ්වත් දාගෙන එකොළහයි විසිපහ වෙනකොට මම ගාල්ලේ හොස්පිට්ල් එකට ගිහින් අම්මයි, දුවයි වාහනේට දාගත්තා.
එයාලා දුවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ඇවිත්. එහිදී චෙක් කළාම අම්මටයි දුවටයි දෙන්නටම කොරෝනා පොසිටිව්. තාත්තට නැහැ. සර්ලා මට කිව්වා පුළුවන් ඉක්මනට මේ දෙන්නව ගෙනියන්න කියලා. මම ඒ දෙන්නව ඇම්බියුලන්ස් එකට දාගත්තා. මට මගේ දුව මතක් වුණා. ඒ දුවත් මගේ දුවගේ වයස.
මම පුළුවන් තරම් වේගයෙන් වාහනේ එළෙව්වා. හයිවේ එකේ ආවේ. මම කණ්ණාඩියෙන් පස්ස බැලුවා. ඒ අම්මා එයාලගේ ආගම කිය කිය දෙවියන්ට යාඥා කරනවා දරුවාගේ ජීවිතය බේරලා දෙන්න කියලා.
කොහොම හරි මම විනාඩි 37න් නෙවිල් එකට ආවා. එයාලාගේ තාත්තා කාර් එකෙන් අපි පස්සෙන් හොස්පිට්ල් එකට ආවා. එදා එයාලා මට ගොඩක් ස්තූති කළා. මම කිව්වා මම කළේ රාජකාරිය කියලා.
ඒ ගොල්ලෝ මුස්ලිම් ජාතිකයෝ. එයාලා දවස් 14ක් නෙවිල් රෝහලේ හිටියා. ඒ දවස් 14දීම එයාලා මට කතා කරලා කිව්වා සුදේශ් ඔයා නිසා තමයි මගේ නෝනගෙයි, දුවගෙයි ජීවිත බේරුණේ කියලා. අපේ ආගමේ ඔයාලා වගේ අයට කියන්නේ දෙවියෝ කියලයි. මම බුද්ධාගමේ කියලා දැනගත්ත නිසා එයාලා මට පින් දුන්නා. ඊයේ පෙරේදා එයාලා මට කතා කළා. ඕනම උදව්වක් කියන්න කිව්වා. එයාලට කරපු උදව්ව හොඳට මතකයි. මටත් හරි සතුටක් දැනුණා. මං එයාලාගේ ජීවිත බේරාගන්න පොඩ්ඩකින් හරි දායක වුණාට”
සුදේශ් කියන හැටියට කොරෝනා රෝගීන් බොහෝමයක් රෝහල් කරා ගෙන යන්නේ රෑය.
“මම හුඟක් වෙලාවට ගියේ රෑ ගමන්. මොකද ලෙඩ්ඩුන්ගේ පී.සී.ආර්. රිපෝට් එන්නේ සවස් කාලේ. එහෙම රිපෝට් පොසිටිව් වෙලා ආවම ඒ ලෙඩ්ඩු රෑට තමයි අරගෙන යන්න වෙන්නේ.
සමහර දවස්වල ඔහොම ලෙඩ්ඩු අරන් යනකොට නා කපන වැහි වැටෙනවා. හයියෙන් යන්න බැහැ පාර ලිස්සනවා. දවසක් බුත්තල පාරේ යද්දී පාරේ අලි හිටියා. ලෙඩ්ඩුත් බය වෙලා! මොනව කරන්නද? ලයිට් ගහනවා. එළාම් ගහනවා, හෝන් ගහනවා. උන් යන්නේ නැහැ. උන් පාරෙන් යනකන් ලෙඩ්ඩුත් තියාගෙන පැයක් දෙකක් හිටියා. වාසනාවට ලෙඩ්ඩුන්ට හානියක් වුණේ නැහැ”
සුදේශ් එසේ කියන්නේ සිය රස්සාවේ ඇති බැරෑරුම්කම අවබෝධ කරගෙනය. සමාජයෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර ගැනද ඔහු කීවේය.
“අපි කොරෝනා ලෙඩ්ඩු ට්‍රාන්ස්පෝර්ට් කරනවා කිව්වම කවුරුත් අපේ ළඟට එන්නත් බයයි. ඒ වගේ දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා.
එක දවසක් අපි ලෙඩ්ඩු අරගෙන ගිහින් එයාලව හොස්පිට්ල් දාලා ආයෙත් එන කොට හොඳටම රෑ වුණා. ගමන් වෙහෙසත් හොඳටම තිබුණා. නිදිමතත් හැදුණා. පොල්ගොල්ල හරියේදී මම දිනේශ්ට කිව්වා දැන්නම් හරි අමාරුයි කොහේට හරි ගිහින් නිදාගෙන උදෙන්ම අදිමු කියලා.
ඔහොම යනකොට පන්සලක් තිබුණා. අපි ඇම්බියුලන්ස් එකෙන්ම ඒ පන්සලට ගියා. ගිහින් හාමුරුවෝ හම්බවෙලා ඇත්ත කතාව කිව්වා. හාමුදුරුවෝ ඇහැව්වා මේ රෑ කොහේද ගියේ කියලා. මම කිව්වා කොරෝනා ලෙඩ්ඩු දෙන්නෙක් බස්සලා එන ගමන් කියලා. හාමුදුරුවන්ට බොරු කියන්නත් බැහැනේ... එහෙම කියපු ගමන්ම හාමුදුරුවෝ බය වුණා. අනේ මහත්තයෝ තරහ වෙන්න එපා... ඔයාල පන්සල ඇතුළට ගත්තොත් හෙට උදේ ඉඳන් මටත් නිරෝධායනයට යන්නයි වෙන්නේ. ඒ නිසා අර වැලි මළුවේ නිදාගෙන පාන්දරින් පිටවෙලා යන්න කියලා හාමුදුරුවෝ කිව්වා. මොනවා කරන්නද අපි එළිවෙනකම් වැලි මළුවේ නිදාගත්තා. උදේ පාන්දරින් හාමුදුරුවෝ කතා කළා. පන්සලේ ඇම්බියුලන්ස් එක තියෙනවා දැක්කම ගමේ අය බය වෙයි කියලා අපි උදෙන් ම පිටත් වුණා.”
කොරෝනා වසංගතයට ඇති බිය නිසා සෞඛ්‍ය සේවයේ නිරත බොහෝ පිරිස් ද කොරෝනා රෝගීන් සමඟ ගැටෙන්නට නොයති. සුදේශ්ටද මේ බිය සැක නැතිවාම නොවේ.
සුදේශ් ගිලන් රථ රියැදුරෙකු ලෙස රාජකාරියට බැඳී ඇත්තේ 2014 සැප්තැම්බර් 10 වැනිදාය. කොරෝනා වසංගතයට කලින් ඔහුට මෙම රෝහලේ පැවරී තිබුණේ මානසික රෝගීන් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලට රැගෙන යෑමටය. එහෙත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ඔහුට පැවරුණේ කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනයෑමේ රාජකාරියයි.
“මම ඉස්සෙල්ලා වැඩ කළේ කැරවන් වාහනයක. ඒත් කොරෝනා ලෙඩ්ඩු ගෙනියන්න ඕන හින්ද ම ඒ වාහනය බටපොළ රෝහලට දීලා අලුත් ම ෆෝඩ් වාහනය ගත්තා. LW 1854 තමයි මගේ වාහනය. මේ මාස 9ට මම මේකේ කිලෝමීටර් 60,000ක් විතර දුවලා තියෙනවා. කොරෝනා ලෙඩ්ඩු අරගෙන” සුදේශ් කියන්නේය.
සමහර රියැදුරන් ගිලන් රථ රාජකාරිය ප්‍රතික්ෂේප කරද්දී සුදේශ් සිය සහායකයා සමඟ කිසිදු පැකිළීමකින් තොරව කොරෝනා රෝගීන් වෙනුවෙන් තම දායකත්වය ලබාදුන්නේ තම ජීවිතය මෙන් සෙසු රෝගීන්ගේ ජීවිතවල ද වටිනාකම මැනවින් දන්නා හෙයිනි.
“අපේ පවුල ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. ඒ නිසා ලොකු බයක් මට දැනුණේ නැහැ. මම නිතර ම ආරක්‍ෂා වුණා. ආරක්‍ෂක ක්‍රමවේද හොඳින් පිළිපැද්දා. මගේ තාත්තත් ඇම්බියුලන්ස් එකක සහායකයෙක් විදිහට වැඩ කළා. එයා දැන් පැන්ෂන්. මගේ අම්මා කරාපිටිය ඉස්පිරිතාලේ සුළු සේවා පාලක කෙනෙක්. මගේ නෝනා සුනේත්‍රාත් කරාපිටිය රෝහලේ හතරේ කාමරේ සේවය කරන්නේ. ඒ අය මට කියන්නේ පරිස්සමින් වැඩ කරන්න කියලයි.
මට මේ කොරෝනා ප්‍රශ්නෙ නිසා ගෙදර යන්න වෙන්නේ නැහැ. පැය 24 ම එක දිගට සේවය කළා. දවස් 23ක් එක දිගට ගෙදර නොගිහින් සේවය කළා. කවුරුත් මේක එළවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා දාල යන්නත් බැහැ. එතකොට මම දරුවයි, නෝනවයි මතක් කර කර ඇම්බියුලන්ස් එක එළෙව්වා.
මම නිවාඩු ගිය දවසට එකම ඩ්‍රයිවර් කෙනෙක් තමයි මේකේ වැඩ කරන්න ආවේ. එයා තමයි අජිත් බන්දුලාල් අයියා. අනිත් සේරම ප්‍රතික්ෂේප කරද්දී අජිත් අයියා “මල්ලී, මම වයසක මිනිහනේ. කොරෝනා හැදිලා මැරුණත් මොක ද? උඹට පුංචි එකෙකුත් ඉන්නවනේ. උඹ ගෙදර පලයන්” කියලා කියනවා.
ඒ වගේ ම තමයි මගේ සහායකයා දිනේශ් අපරැක්ක. එයා මට උපරිම ආකාරයට සහාය දුන්නා. දිනේශ් නැති වෙලාවට ගිහාන්, නිලන්ත, ජයන්ත, ජයරත්න, අනුර යන අයත් මගේ සහායකයන් විධියට වැඩ කරලා තියෙනවා.”
“අපිට එදා ඉඳල ම තිබුණේ කොරෝනා ආසාදිතයො ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනියන්නයි, සැක සහිත රෝගීන් පී.සී.ආර්. කරන්න අරන් යන්නයි“
“ඩොක්ටර්ස්ලා ගම්වලට ගිහින් දැනුම් දෙනවා මෙදාට මේ පන්සලේ හරි ප්‍රජාශාලාවේ හරි පී.සී.ආර්. කරනවා එදාට එන්න කියලා. එහෙම දැනුම් දුන්නට පස්සේ අපිට තියෙන්නේ ගෙවල්වලට ගිහින් ඒ කට්ටිය ගේන්න. ඔය වගේ දවසකට අපි ගෙවල් පනහකට හැටකට විතර යන්න වෙනවා. සමහර ගෙදරකින් පස්හය දෙනා ගේන්න වෙනවා. ඒ අය පී.සී.ආර්. කළාට පස්සේ පොසිටිව් වුණොත් එයාලව ඉස්පිරිතාලවලට ගෙනියන්න වෙන්නෙත් අපිට ම තමයි.”
“මම මුල් ම කොරෝනා රෝගියා අයි.ඩී.එච්. රෝහලට අරගෙන ගියේ ගිය අවුරුද්දේ මාර්තු 20 වන දා. එදා ඉඳලා අද වෙනකොට කොරෝනා රෝගියො 365ක් විතර රෝහල්වලට ගෙනිහින් තියෙනවා. මගේ සර්විස් එක තවම අවුරුදු හයයි. මේ කොරෝනා කාලයේ මම ලබපු අත්දැකීම් ටික ඇති මගේ ඉදිරි අනාගතය ගැන හිතන්න.
මේ හැම දෙයක් දිහා ම හැරිලා බැලුවම මට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ මොකද කියලා දන්නවා ද? මම අරන් ගිය එකම ලෙඩෙක්වත් මගේ ඇම්බියුලන්ස් එක ඇතුළේදී හරි ඉස්පිරිතාලෙක හරි මැරුණේ නැහැ. ඒ ගැන මට ආඩම්බරයි“ සුදේශ් එසේ කියන්නේ මහත් වූ සතුටකිනි.
සුදේශ් විසින් කරන ලද සේවය අගය කිරීමටද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු නිලධාරීහු පියවර ගත්හ. දකුණු පළාතේ වැඩි ම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනයෑම හේතුවෙන් සුදේශ් වරුණ ශාන්තද පසුගියදා සුවවිරු ප්‍රණාම සම්මානයට නිර්දේශ විය.
සෞඛ්‍ය අමත්‍යාංශයෙන් කොරෝනාවලට සක්‍රියව දායක වුණු පුද්ගලයන් ගැන විස්තර ඉල්ලලා තිබුණා. අපේ සර්ලා මායි, මගේ සහායක දිනේශ් ගැනයි ලියලා දන්වලා තිබුණා. සුවවිරු ප්‍රණාම යටතේ අපි කරපු සේවය අගයලා, පවුලේ අයත් එක්ක දින දෙකක් යාල සිනමන් බීච් හෝටලේ නිවාඩුවක් ගත කරන්න අවස්ථාව සලසලා දුන්නා.
මාත් එක්ක ගාල්ලේ පී.එච්.අයි. මහත්තයකුත් ඇවිත් හිටියා එයාගේ දරු පවුලත් එක්ක. එයා තමයි දකුණු පළාතේ මුල්ම කොරෝනා රෝගියා සොයාගෙන තිබුණේ. මගේ සහායකයා දිනේශ් හබරණ හෝටලයක නිවාඩුවක් ගත කළා. අපිට මේ කළ සේවයට අදාළ සම්මාන පස්සේ දවසක අපිට ලැබේවි...”
ඔහු තමාට මෙවන් කර්තව්‍යයකට දායක වීමට ඉඩකඩ සලසා දුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත ජීවරත්න, ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග ප්‍රධාන වෛද්‍ය වෙනුර සිංහාරච්චි, උණවටුන රෝහලේ වෛද්‍ය නිලධාරි සුන්දර මුදලිගේ යන මහත්වරුන් සිහිකරන්නේ හද පිරි ගෞරවයකිනි.
සුදේශ්ගේ ක්‍රියාකලාපය මෙලෙස හෝ අගය කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකිරීම විශේෂයෙන් අගය කළ යුත්තකි. සැබැවින්ම සුදේශ්ලා අප රටට මහත් සම්පතකි.
මව්බිම
