728x90 AdSpace

Latest News
Saturday, 9 January 2021

මම රුක්මණී දේවි වගේ කියන එක කොයිතරම් නම්බුවක්ද? - තාරුකා

‘කැලෑ හඳ’ චිත්‍රපටය සිනමා අම්බරයට පායා ආවේ එක්දහස් නවසිය අග භාගයේය. ඩබ්ලියු. ඒ. සිල්වාගේ අති ප්‍රේමණීය වූ නවකතාවක් වූ එය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ සදා නොමැකෙන මතක සටහනක් එක්කළේ සිංහල සිනමාවේ ‘කඳුළු බින්දුව’ යන සංවේදී විරුදාවලිය ලත් රුක්මණී දේවියගේ නාමයද අමරණීය කරවමිනි. අපූර්වත්වයෙන් පිරි ඒ අමරණීය මතකය ආලින්දයේ සිනමාව මත සිත්තම් කරන්නට ප්‍රවීණ නිර්මාණකරු දයාරත්න රටගෙදරට සිතක් පහළ විය. සිතුවිල්ලකට පමණක් සීමා නොවූ ඒ නිර්මාණශීලී වෑයම ටෙලි තිරය මත ඉදිකරවීම සඳහා දයාරත්න රටගෙදර රුක්මණී දේවියට යම්තමට මෙන් සමානකම් කියන රංගවේදිනියක සෙවුවේය. තරුණ නිළියන් කිහිප දෙනකුම රඟපාන්නට බලා සිටි ඒ සුවිශේෂී චරිත නිරූපණය ලැබුණේ තාරුකා වන්නිආරච්චිටය. ඇත්තටම තාරුකා වන්නිආරච්චි රුක්මණී දේවියගේ පෙනුමට සමානකම් කියන්නේද..? දයාරත්න රටගෙදරට එය එලෙස සිතෙන්නට ඇත. රදල ජෝන් ජයපාල හමුවේ කොළඹ හඳක් වන්නට උත්සාහ කළ ‘කැලෑ හඳ’ වෙනුවෙන් ඔහු තැනූ තිරපිටපත තාරුකා වන්නිආරච්චිට ලැබුණේ ඒ නිසාය. ‘මාලිනී හෝ විෂ්ණු බායි’ වෙනුවෙන් චරිත මැවීමේ මෙහෙවර තුළ තාරුකා වන්නිආරච්චිගේ සිතට දැනුණු හැඟීම් මොනවාද..? ඒ ආනන්දනීය චරිතය හමුවේ සාර්ථක නිරූපණයක නියැළෙන්නට ඈ දැරූ වෙහෙස සාර්ථක වුණාද..?’ ඒ වාගේ ප්‍රශ්න අතර තාරුකාගෙන් අසන්නට තව බොහෝ දෑ අපට තිබිණි. ඉතින්.., ඇගේ සිතුවිලි ඉව කරන්නට ‘මව්රට’හි හදවතට දැනුණු කුතුහලය සහ කැමැත්ත, ඈ හමුවේ නිරාවරණය වූයේ මෙලෙසය.

විමසන්නට යමක් නැහැ, මේ දවස්වල ඔබ නිරූපණය කරන්නේ සැබෑ ජීවිතයේ මවකගේ චරිතය?
ඇත්තටම ඔව්.., මේ දවස්වල බබා එක්කම තමයි කාලය ගෙවන්නෙ.

ඒ කියන්නේ රංගන කටයුතුවලින් මඳකට හෝ ඈත්වෙලාද තාරුකා?
ඈත්වෙලා නෙවෙයි, බබාගේ අවශ්‍යතාවලට හානි නොවෙන විදියට වැඩකටයුතු ටික මැනේජ්කර ගන්න තමයි හුඟාක් විට පරෙස්සම් වෙන්නෙ. විකාශනය වෙන නාට්‍ය කිහිපයක රූගත කිරීම් ඇරුණු කොට අලුතින් නම් වැඩක් බාර ගන්න හිතුවේ නැහැ. අවිවේකී බව වාගේම, කොරෝනා තත්ත්වය නිසා සමහර අවස්ථාවල බබා ගැන හිතලා තමයි අනෙක් හැමදේ ගැනම හිතන්නෙ.

ඔබව හොයාගෙන ආවේ ‘කැලෑ හඳේ’ මාලිනී ගැන කතා කරන්න?
මේ දවස්වල මාව කොතැනක හෝ මුණගැහෙන හැමෝම කතා කරන්නෙ ‘කැලෑ හඳ’ මාලිනී ගැන තමයි.

මොනවද ඒ ප්‍රතිචාර, ඔබ සාර්ථකය කියා ඔවුන් කියනවද?
ප්‍රතිචාර නම් සතුටුදායකයි. ඔවුන් මා කළ රංගනය ගැන සතුටට පත්ව ඇති බව තමයි පෙනෙන්නේ.

මාලිනී හෝ විෂ්ණු බායි ලෙස ඔබ සාර්ථක යැයි කියා ඔබ හිතනවද?
මම සාර්ථකය කියා මට උදම් අනන්නට බැහැ. ප්‍රේක්‍ෂකයා මගේ රංගනය ගැන හොඳ කියනවා නම් මම සාර්ථකය කියා පිළිගන්නට එය ප්‍රමාණවත් යැයි මම හිතනවා.

ආරාධනය ලැබුණේ දයාරත්න රටගෙදරගෙන්ද?
ඔව්… දයාරත්න අයියා තිර පිටපත දෙන්න මාව හොයාගෙන එන විට තමයි දන්නේ ‘කැලෑ හඳ – මාලිනී’ට මාව තෝරාගෙන තියෙනවා කියලා.

තිගැස්මක් දැනුණද ඔබට… රුක්මණී දේවිය ගැන සිහිවෙලා?
චකිතයක් වාගේම තිගැස්මක් දැනුණා. ඔබ කිව්වා වාගේම එයට එක් හේතුවක් වුණේ රුක්මණී දේවිය වැනි අසහාය නිළියකට මා වැනි පුංචි එකියකව සමාන කිරීමට උත්සාහ ගත්ත එකටයි. අනෙක් කාරණය ‘කැලෑ හඳ’ කියන්නේ බොහෝ අගැයීම්වලට ලක්වූ නිර්මාණයක්. එහි කෘතිය වාගේම චිත්‍රපටය තුළ වන්නේද මහ විශාල ප්‍රතිරූපයක්. ඒ වාගේම අදටත් එය කා අතර වුවද කතාබහට බඳුන් වෙනවා. ඒ නිසා එම ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට මෙය නිමකර ගැනීමට හැකිවේදැයි කියන චකිතය මට දැනෙන්නට ගත්තා.

ඇයි ඔබව තෝරාගත්තේ කියා ඇහුවේ නැද්ද?
නැහැ… මම එහෙම ඇහුවේ නැහැ. අනෙක ඇයි මම එහෙම අහන්නෙ… මාව මාලිනියට සුදුසු නිසයි දයාරත්න අයියා මාව හොයාගෙන ආවේ. එහෙම නැත්නම් ඔහුට වෙනත් නිළියක් මේ සඳහා යෝජනා කරන්නට තිබුණා. මොකද සිංහල ටෙලි කලාව තුළ තව ඕනෑ තරම් තරුණ නිළියන් සිටිනවානේ.

ඒ සියලුම සිතුවිලි මැද ඔබ බොහෝ තෘප්තිමත්ව ‘කැලෑ හඳ’ට මැදිවුණා?
ඔව්… අභියෝගයක් බාර ගන්නා හැඟීමක් මට දැනුණා. රුක්මණී දේවි මහත්මියටත්, ‘කැලෑ හඳ’ චිත්‍රපටයටත් හානියක් නොවන ආකාරයට මාලිනියගේ චරිතය නිර්මාණය කරගැනීමට ප්‍රවීණ නිර්මාණකරු දයාරත්න රටගෙදරගේ නිර්මාණශීලී මෙහෙයවීමත්, එහි රඟපෑ ප්‍රවීණයන්ගේ සහායත් මට නොමඳව ලැබුණා. ඒ සියල්ල මැද මම බොහොම රිලැක්ස් එකේ මාලිනියටත්, විෂ්ණුබායිටත් ජීවය දුන්නා.

ආරංචියක් තිබුණා ඔබ රුක්මණී දේවියගේ පෙනුමට සමාන නිසා ‘කැලෑ හඳ’ වීමේ වරම ලැබුණාය කියා.
ඔව්… එහෙම හැඟීමක් තුළද මා තෝරා ගත් බව කියැවුණා. එය මට හිතාගන්නටවත් බැරි විශාල ගෞරවයක්… රුක්මණී දේවිය වැනි රංගන ශිල්පිනියකගේ අභිමානවත් පෙනුමට මාව ආදේශ කිරීම කොයි තරම් නම් නම්බුවක්ද? සත්තකින්ම එය සිතාගන්නටවත් බැරි භාග්‍යයක් බවයි මගේ හැඟීම.

ඒ හැඟීම තුළ ඔබ සතු මෙහෙවර හොඳින් කලා කියා ඔබ සිතනවද?
හැකි උපරිමය කළා කියා මම හිතනවා. තීන්දුව පැහැදිලිව දිය යුත්තේ ප්‍රේක්‍ෂකයායි. ඒ වාගේම රුක්මණී දේවිය වැනි දැවැන්ත චරිතයකට යම්තමට හෝ ළං වන්න, සමවන්න මම උත්සාහ ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵල ගැන හොඳ ලකුණු දිය යුත්තේ එය නරඹන පිරිසයි.

චරිතයට ප්‍රවිෂ්ට වූයේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය බලලද?
කනගාටුයි කියන්න, එය නැරැඹීමේ වාසනාව මට ලැබුණේ නැහැ. එහි කොටස් විශාල ගණනක් විනාශ වූ බව දැනගන්නට ලැබුණා. හැබැයි චිත්‍රපටය නරඹන්නේ නැතිව මාලිනියගේ චරිතය සැහැල්ලුවට නිර්මාණය කරගැනීමේ හැකියාව නම් මට අපූරුවට ලැබුණා කියා හිතන්නට මම පෙළඹුණා.

ඔබ කියන්නේ ‘රුක්මණී දේවියව අනුකරණය කිරීමෙන්’ ඔබට මිදෙන්නට ලැබුණු බවද?
අනිවාර්යයෙන්ම මට එහෙම හිතුණා. රුක්මණී දේවි අහසට – පොළොව වාගෙයි.., හැබැයි රුක්මණී දේවිය කොයි තරම් ප්‍රතාපවත් වුවද ඇයව අනුකරණය කරනවාට වඩා මට ඕනෑ වූයේ ‘තාරුකා වන්නිආරච්චි’ ලෙස මාලිනියට ආරූඪ වෙන්නයි. ඒ සඳහා ඩබ්ලියු. ඒ සිල්වාගේ ‘කැලෑ හඳ’ කෘතිය මට හොඳ සහායක් දුන්නා.

අරවින්ද දොඹගහවත්ත, ඔබ සහ දයාරත්න රටගෙදර සෙට් එකේදී හරිම සුහදව කටයුතු කළාලු?
විශාල අවබෝධයකින් අපි හැමෝම ‘කැලෑ හඳ’ නිර්මාණ කාර්යයට එකතු වුණා. ඇතැම් දර්ශන ගැන අරවින්දයි, මමයි දයාරත්න අයියා සමඟ කතාබහ කළා… අහවල් දර්ශනය මෙහෙම වුණොත් හොඳයි. ඊළඟ දර්ශනය මෙහෙම වුණොත් හොඳයි නේදැයි කියා අදහස් හුවමාරු කරගන්නා තරමට අප අතර කණ්ඩායම් හැඟීමක් ඇති වුණා. ඇත්තටම එය චරිතයකට හරි හැඟීම්බරව ආරූඪ වීමේ පසුබිම උදාකළා කිව්වොත් හරියටම හරි.

ඔබට ලැබෙන යම් ප්‍රතිචාර අතර අසන්නට ලැබුණු සුවිශේෂී අදහස් ප්‍රකාශයක් තිබුණාද?
ඔවුන් මාවත් අරවින්දවත් අගය කළා.., ඒ අතර වැඩි දෙනකු කීයේ රැල්ලට හැදෙන එකම වාගේ ටෙලිනාට්‍යය අතර ‘කැලෑ හඳ’ ප්‍රේක්‍ෂකයනට ලොකු වෙනසක් වූ බවයි. මගේ මහත්තයා සහ පවුලේ අනෙක් හැමෝමද ඒ හැඟීම අතර ඉන්න එක සතුටක්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම රුක්මණී දේවි වගේ කියන එක කොයිතරම් නම්බුවක්ද? - තාරුකා Rating: 5 Reviewed By: lakmina