දුරකථනයෙන් කතාකර හාද වූ 16 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇගේ නිවසේ තිබූ රුපියල් 2,35000 ක් වටිනා ස්වර්ණාභරණ ගෙන්වාගෙන තවත් මුදල් වංචාවෙන් ලබාගැනීමට තැත් කළ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කර තිබෙනවා.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ බලපිටිය පදිංචිකරුවකු වූ ඩිල්ෂාන් නම් වූ අයය. මොහු මෙසේ රවටා ඇත්තේ උතුරු කළුතර පොලිස් වසමේ පාසලක ඉගෙනුම ලබන දැරියක්.
දැරියට ජංගම දුරකථනයෙන් කතාකර හඳුනාගත් මෙම පුද්ගලයා විවාහකයකු වන අතර විවාහය අසාර්ථක කරගත් අයකු බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත..
දැරිය සමග හාදවූ පුද්ගලයා යතුරුපැදියක් මිලට ගැනීමට මුදල් අවශ්‍ය බව කී විට නිවසේ තිබූ තම මිත්තණියගේ පෙන්ඩනය සහිත රන් මාලය සහ තම පවුම් 1/2 රන් දම්වැල ගෙන ගොස් ඔහුට දී තිබෙනවා..
ඉන්පසු තමාට විදෙස් රැකියාවකට යෑමට අවශ්‍ය බව පැවසූ සැකකරු ඒ සඳහා රුපියල් ලක්‍ෂ 03 ක් අවශ්‍ය බවට මෙම දැරියට පවසා තිබෙනවා. ඒ අනුව තම පෙම්වතාට විදෙස් රැකියාවකට යෑම සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදෙන ලෙස තම මවගෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීමෙන් පසු මව නිවසේ තිබූ රන් භාණ්ඩ පිළිබඳ සොයා බැලීමේදී ඒවා නොමැති බව දැන ඒ බව විමසීමේදී ඒවා පෙම්වතාට දුන් බව දියණිය පිළිගෙන ඇති අතර මව ඒ පිළිබඳ උතුරු කළුතර පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ ඉන් පසුවයි.
පොලිස් නිලධාරීන් උපක්‍රමශීලීව සැකකරුව කළුතර නගරයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන ඒ අනුව කරන ලද ප්‍රශ්න කිරීමේදී මොහු ඒ ආකාරයේ වංචාවන් තවත් සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
උතුරු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිල්වා මහතා විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ - දිවයින
