728x90 AdSpace

Latest News
Tuesday, 26 January 2021

අනුරාධපුර ළමා නිවාසයේ පාලිකාවගේ මිලේච්ඡ ක්‍රියා ගැන, දැරියන් හෙළි කළ ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව මෙන්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති සායනයකට ගිය අවස්ථාවේ අවන්තිදේවි ළමා නිවාසයේ හිටපු පාලිකාවක් පැමිණ ලබාදුන් ආහාර අනුභව කළ පසු තමන්ට සිහි නැතිවූ බව එම නිවාසයේ දැරියන් තිදෙනකු පැමිණ පෙරේදා (24දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
පැමිණිල්ල ඉදිරිපත්වීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වහාම පරීක්ෂණයක් අරඹා ඇතත් ඔවුන්ගේ ප්‍රකාශ හා සිදුවීම පිළිගත නොහැකි නිර්මාණයක් බවට සැක මතුව තිබෙනා බව පවසයි.

කිසියම් පිරිසක් අපහසුතාවට පත්කිරීමට හෝ කිසියම් පිරිසක් නිර්දෝෂී කිරීමේ අරමුණින් අදාළ පැමිණිල්ල නිර්මාණය වී ඇති බවට පොලිසියට සැක මතුව තිබේ.
 
අදාළ දැරියන් තිදෙනා පොලිස් ස්ථානයට පැමිණ මිනිත්තු කිහිපයක් ගතවනවාත් සමඟම ළමා නිවාසයේ පාලිකාව පැමිණ දැරියන් තිදෙනකු නිවාසයෙන් පලාගොස් ඇති බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් උත්සාහ කර තිබේ.
 
දැරියන් තිදෙනා පෙරේදා (24දා) දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති සායනයකට ගොස් ඇති අතර එහිදී හිටපු පාලිකාවක් පැමිණ එක් දැරියකට බනිස් ගෙඩියක්, බීම එකක් හා ටොෆියක් ලබාදුන් බවත් ඒවා ආහාරයට ගෙන ස්වල්ප මොහොතකින් ඇය සිහිමූර්ඡා වූ බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.
 
එම සිද්ධියත් සමඟ මාමලා දෙදෙනකු පැමිණ වතුර මුහුණට ඉසීමෙන් පසුව මිතුරියට සිහිය පැමිණි බවත් අනතුරුව මාමලා දෙදෙනා ඇයව රැගෙන ගිය බවත් දැරියන් පොලිසියට පවසා තිබිණි.
 
එම දෙදෙනා විසින් තමන්ට වෙළෙඳසලකට රැගෙන ගොස් අවශ්‍ය දේවල් විමසා පසුව සිරුර ස්පර්ශ කර අතවර සිදුකළ බවත් සිද්ධියට මුහුණපෑ බව කියන දැරිය පොලිසියට පවසා තිබුණාය.
 
දැරියන්ගේ ප්‍රකාශවලට අනුව අතවරයට පත්වූ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
 
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.
 
අනුරාධපුර _ මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනුරාධපුර ළමා නිවාසයේ පාලිකාවගේ මිලේච්ඡ ක්‍රියා ගැන, දැරියන් හෙළි කළ ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව මෙන්න Rating: 5 Reviewed By: lakmina