අතීතයේ සිටම අපේ රට විවිධ ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා තම දිවි නොතකා කැපවුණු සංඝ පීතෘන් වහන්සේලා බොහෝය. එවැනි ශ්‍රේෂ්ඨ සම්පන්න භික්ෂූන් වහන්සේලා පිළිබඳ බොහෝ තොරතුරු අපි ඉතිහාසය පුරාවටම අසා ඇත. අතීතයේ පමණක් නොව දශක කිහිපයක් පුරා මෙරට පැවැති කුරිරු යුද සමයේදීද තම දිවි නොතකා උතුම් බුදු සසුන සහ මව්බිම බේරා ගැනීම සඳහා කැප වුණු භික්ෂූන් වහනසේලා විශාල ප්‍රමාණයක් සිටියහ. නමුත් ඒ අතරින් බොහොමයක් ස්වාමීන් වහන්සේ තම යුතුකම ඉටුකොට ඇත්තේ ඉතා නිහඬවමය. එබැවින් යුද්ධය අවසන් වීමෙන් පසුවද උන්වහන්සේලා වෙනුවෙන් ලැබිය යුතු නිසි ගෞරවය සමාජයෙන් නොලැබුණි.
තිස් වසරකට වැඩි කාලයක් පුරාවට පැවැති කුරිරු යුද්ධයේ මතකය දැන් කෙමෙන් සමාජයෙන් ගිලිහී යමින් ඇත. ඒ අඳුරු මතකය සහමුලින්ම අමතක කළ යුතු බව සැබෑය. එමෙන්ම අනාගතයේදී තවත් එවැනි රුදුරු ඛේදවාචකයක් ඇති වීමට ඉඩ නොතැබීමද සමාජයක් ලෙස අපේ යුතුකමය.
යුද්ධය සම්බන්ධයෙන් බොහෝ දේ අප මීට පෙර කතාබහ කර ඇත. යුද්ධයේදී තම දිවි කැප කළ අභීත රණවිරුවන් සම්බන්ධයෙන් සහ තම දිවි නොතකා සටන් කළ රණවිරුවන් සම්බන්ධයෙන් අප බොහෝ දේ කතාබහ කර ඇත. කෲර ත්‍රස්තවාදීන්ගෙන් අපේ මව්බිම බේරා ගැනීම සඳහා රණවිරුවන් සිදු කළ කැප කිරීමට ජාතියක් වශයෙන් අප සැමදා ණයගැතිය. ඒ වෙනුවෙන් අඩිතාලම සකස් කළ දේශපාලන අධිකාරියටද ඒ ගෞරවය හිමි විය යුතුය.
නමුත් යුද්ධයේ මුල් වකවානුවේ සිටම යුද්ධය සමඟ ජීවත් වෙමින් තම දායක දායිකාවන් රැකගනිමින්, ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ උරෙනුර ගැටෙමින් දේශය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප වුණු ඇතැම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ගැන සමාජය දැනුවත් නොවීම කනගාටුවට කරුණකි. උන්වහන්සේලා පිළිබඳ මීට වඩා සමාජ කතිකාවතක් ඇති විය යුතු බව අපේ අදහසය. මේ ඒ වෙනුවෙන් ගන්නා පුංචි උත්සාහයකි.
ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වය. කොළඹ සිට මහියංගණය, මහඔය හරහා අම්පාර දක්වා දිවෙන මාර්ගය අයිනේ පිහිටා ඇති බැවින් ඒ වෙත ළඟා වීම ඉතා පහසුය. සැබවින්ම පියංගල ආරණ්‍ය සේනාසනය යනු අපේ ඉතිහාසයේ බොහෝ දේ හෙළිදරව් කරනා වැදගත් ස්ථානයකි. එහි ආරම්භය දුටුගැමුණු යුගය දක්වා දිව යන බව සෙල්ලිපි සාධක හරහා තහවුරු වී ඇත.
වර්තමානයේ පියංගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති ලෙස කටයුතු කරන්නේ තල්ගමුවේ සුභූති නාහිමියන්ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නැඟෙනහිර පළාතේ මහෝපාධ්‍ය, කර්මස්ථානාචාර්ය ධුරය හොබවන්නේද උන්වහන්සේ විසිනි. 1977 වසරේදී පියංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කළ උන්වහන්සේ පසුගිය වසර 44ක කාලය පුරාම විශාල ආගමික, ශාසනික සහ ජාතික සේවාවන් රැසක් සිදු කරමින් එහි වැඩ වාසය කරති.
මේ වසර 44ක කාලය පුරාවට උන්වහන්සේ මුහුණ දුන් අත්දැකීම් බොහෝය. එකල ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ පියංගල ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් රැක ගැනීම සඳහා උන්වහන්සේ සිදු කර ඇති කාර්යභාරය අපමණය. පියංගල පමණක් නොව මුළු නැඟෙනහිර පළාතම ත්‍රස්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා උන්වහන්සේ අපමණ කාර්යභාරයක් ඉටු කර ඇත. ඒ මතක ආවර්ජනය කිරීම අද ඉතා සුන්දර දෙයකි. නමුත් එම අත්දැකීම්වලට මුහුණ දීමේදී නම් එය කිසිසේත්ම එතරම් සුන්දර දෙයක් නොවන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
උන්වහන්සේ අප සමඟ කතාබහ ආරම්භ කළේ යුද්ධය ඇරඹීමටත් පෙර සිදු වූ රසවත් සිදුවීමක මතකය ආවර්ජනය කරමිනි. සොබාදහම සමඟ මුසුවෙමින් ජීවිතයේ සැබෑ සුවය සොයා යෑමට අදිටන් කර ගත් උන්වහන්සේ ඇතුළු ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ රැසක් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇති බවට සැකයක් නැත. වර්තමානයේදී මහා මාර්ගය ආසන්නයේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නවාතැනක් ඉදි වී ඇතත්, සුභූති හිමියන් පියංගලට වැඩම කළ මුල් කාලයේදී ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කර ඇත්තේ අතීයේදී මහ රහත් උතුමන් වහන්සේලා වැඩ වාසය කළ වසර 2000කට වඩා පැරැණි ලෙන් කුටි තුළමය. එකල පියංගල යනු වන සතුන්ගේ පාරාදීසයක් වී ඇත.
දිවියයි- පළා පොළගයි පාර මැද්දේ
“මං ඔය කියන කාලේ අපි වැඩ වාසය කළේ කන්ද මුදුනේ කුටිවල. සවස බුද්ධ පූජාව සඳහා දිනකට එක නමක් පහළට වඩිනවා. එදා මං ඒ විදියට බුද්ධ පූජාව අවසන් කරලා ආපසු කුටියට වැඩම කරමින් හිටියේ. මගේ අතේ තිබුණේ ළන්තෑරුමක් විතරයි. මං යන පාරේ බිමට වැටිලා තිබුණු අත්තක් උඩ ලයිට් දෙකක් දිලිසෙනවා වගේ මට ඈතට පෙනුණා. මම පොඩ්ඩක් විමසිලිමත්ව බැලුවා. බලද්දී දැවැන්ත පලා පොළඟෙක්. මගෙ අතක් විතර මහතයි. මං ඈතට උගේ ඇස් දෙක දැක්කේ නැත්නම් මට අනතුරක් වෙන්න තිබුණා. ඒත් ඒක දැක්ක හින්දා මම පොඩ්ඩක් අයින් වෙලා එතැනින් වැඩියා. හැබැයි ඌට ඕනෑ නම් මට පැනලා පහර දෙන්න තිබුණා. ඒත් එහෙම කළේ නැහැ. එතැන පහු කරලා තව ටිකක් යද්දී ගහක් උඩ දිවියා ඉන්නවා. ඒකත් මම ඈතට දැක්කා. හැබැයි උගෙනුත් මට කිසිම කරදරයක් වුණේ නැහැ. ඒත් එකම දවසේ සිදුවීම් දෙකක් සිද්ධ වුණු හින්දා එදා නම් මට ටිකක් වැඩියෙන් දාඩිය දැම්මා.” උන්වහන්සේ සිනහා මුවින් එලෙස පැවසූහ. නමුත් ඒ කිසිදු සත්වයෙකුගෙන් ආරණ්‍යවාසීව වැඩ වාසය කළ කිසිදු භික්ෂූන් වහන්සේ නමකට කිසිදු හිරිහැරයක් සිදු නොවුණු බව උන්වහන්සේ සිහිපත් කරන්නේ කිසියම් ආශ්වාදජනක හැඟීමකින් යුතුවය.
දරුණු යැයි සැලකෙන වන සතුන්ගෙන් ආරණ්‍යවාසීව වැඩ වාසය කළ උන්වහන්සේලාට කිසිදු හිරිහැරයක් සිදු නොවුණද, දේශපාලනික කරුණු මත දරුණු බවට පත් වූ දෙපා සත්වයාගෙන් උන්වහන්සේලාගේ නිදහසට බාධා එල්ල වන්නට විය. ඒ උතුරු නැඟෙනිහිර දෙපළාත තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් හිස එසවීමත් සමඟය. එහි පළමු අත්දැකීමට උන්වහන්සේ මුහුණ දී ඇත්තේ 1983 වසරේ දෙසැම්බර් 25 වැනිදාය.
කුටියට ඇවිත් වෙඩි 4ක් තිබ්බා
“ඒ අත්දැකීම ලැබුවේ එදා රාත්‍රී 1ට විතර. මම සුපුරුදු පරිදි කඳු මුදුන මත පිහිටි ලෙන් කුටියක සැතපිලා හිටියේ. කවුරු හරි ඇවිත් දොරට තට්ටු කරනවා බොහොම සැරට. ඒ වෙද්දි කවදාවත් මම ඒ අත්දැකීම ලබලා නැහැ. මම ජනේලේ ඇරලා තිබුණේ. අවි ගත්ත කණ්ඩායමක් එළියේ ඉන්න බව මට ඒකෙන් පෙනුණා. ඒත් කරන්න දෙයක් නැහැ. මට දොර අරින්න සිද්ධ වුණා. අවි හතරක් එල්ල කරගෙන මේ අය ආවා. ගොඩක් අය දෙමළෙන් කතා කළත්, සිංහල පුළුවන් එක්කෙනෙකුත් එතැන හිටියා. සාමි මේ ප්‍රදේශ දැන් ඕගොල්ලන්ට අයිති නැහැ. ඒ හින්දා අනිත් සාමිලත් එක්ක හෙටම මෙහෙන් යන්න. එහෙම තමයි ඒ අය කිව්වේ. කියලා පැත්තකට වෙඩි හතරකුත් තිබ්බා මාව බය කරන්න. හෙට උදේ වෙද්දී නොගියොත් මරනවා. ඒ අය එහෙමත් කිව්වා. ඒ වෙලාවේ මම ඒ අයට මෙහෙම කිව්වා. කරුණාකරලා මෙහෙම හිතන්න. අපිට යන්න වාහන නැහැ. මොකද ඒ කාලේ ආසන 23ක එක බස් එකක් විතරයි මේ පාරේ වැඩ කරේ. ඒත් ඒ අයට ඒකෙන් වැඩක් වුණේ නැහැ. වහාම යන්න කියන එක ඒ අය බොහොම දැඩිව කිව්වා. මම උපරිම උත්සාහ කරන්නම් කියලා ඒ අයට කියලා ඒ අයව පිටත් කළා.”
මරණය තමන් අබියසටම පැමිණ අනතුරු ඇඟවූවද, මේ උතුම් පුණ්‍ය භූමිය ත්‍රස්තවාදීන් අතට පත් කර පිටත්ව යෑමට උන්වහන්සේ සූදානම් වී නැත. පියංගල හැරදා යනවා වෙනුවට ඊට පසුදින උන්වහන්සේ ගෙන ඇත්තේ වෙනත් ක්‍රියාමාර්ගයකි.
“ඒ කාලේ මේ ළඟ පාත පොලිසියක් තිබුණේ නැහැ. යුද්ධයේ ආරම්භක අවධියනේ. මම තීරණය කළා අම්පාර හමුදා කඳවුරට යන්න. අඩුම ගානේ බස් එකේ යන්නවත් මගෙ ළඟ සල්ලි තිබුණේ නැහැ. අපේ කැපකාර මහත්තයා තමයි මට බස් එකේ යන්න රුපියල් 10ක් දුන්නේ. කොහොම හරි අම්පාර ගිහින් ඔරලෝසු කණුව ළඟින් බැහැලා එතැන ඉඳන් කිලෝමීටර් 3ක් විතර පයින් ගිහින් තමයි කඳවුරට ගියේ. ගිහින් කඳවුරේ නිලධාරීන්ට විස්තරේ කිව්වා. ඒ කාලේ කඳවුරුවල හිටියෙත් සීමිත සෙබළ පිරිසක්. ඒත් හාමුදුරුවෝ යන්න එපා. අපි ඔබවහන්සේලාට ආරක්ෂාව දෙන්නම් කියලා ඒ නිලධාරීන් කිව්වා. එදා ඉඳන් රාත්‍රී කාලයේදී අපිට ආරක්ෂාව දෙන්න සෙබළු කිහිප දෙනෙක් හැමදාම ආවා.” ඒ අඳුරු මතකය උන්වහන්සේ එලෙස අවදි කළහ.
කොටි සේනාසනයට ඇවි් වෙඩි තිබ්බා
හමුදා ආරක්ෂාව ලැබුණු නමුත් සුපුරුදු ලෙස භාවනානුයෝගීව තම අරමුණු වෙනුවෙන් කැපවීමට උන්වහන්සේලාට ත්‍රස්තවාදීන් ඉඩ ලබා දුන්නේ නැත. තම ජීවිත කාලය තුළ අත් විඳි බියකරුම අත්දැකීමට පියංගල ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇත්තේ ඉහත සිදු වීමෙන් මාසයකට පමණ පසුවය.
“ඔය සිද්ධිය වෙලා මාසයක් ගියා විතරයි. 1984 පෙබරවාරි මාසේ මුල. ත්‍රස්තවාදීන් අපේ ආරණ්‍ය සේනාසනයට වෙඩි තිබ්බා. ඒ වෙලාවේ අපේ ආරක්ෂාවට හිටිය හමුදා නිලධාරිනුත් ප්‍රති ප්‍රහාර එල්ල කළා. ඒ කාලේ ත්‍රස්තවාදීන් එතරම් බලවත් නැහැ. ඒ හින්දා හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් පසු බැස්සා. අපේ කාටවත් වෙඩි වැදුණේ නැහැ. ඒත් කලබලේට දුවන්න ගිහින් ගහක වැදිලා එක් හිමිනමක් අනතුරට පත් වුණා.”
පියංගලට පමණක් නොව අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම දිනෙන් දින එල්ල වන ත්‍රස්තවාදී තර්ජන වැඩි වන්නට විය. ඒ හේතුවෙන් පියංගල වැඩ වාසය කළ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන් බැහැරට වැඩම කළහ.
“පියංගලට කොටි ගැහුවා කියන ආරංචිය රටේම ප්‍රචලිත වුණා. ඒ එක්කම අපිට දාන මාන සැපයූ බොහෝ දායක පිංවතුන් පියංගල එන්න බය වුණා. කොටියට ඕනෑ වුණෙත් ඒකම තමයි. මේ ප්‍රදේශවලට සිංහලයන් එන එක නවත්වන්න තමයි ඒ අයට ඕනෑ වුණේ. එහෙම කරලා මේ ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේ ඉවත් කරන එක තමයි කොටියගේ අරමුණ වුණේ. 1984 වෙද්දී අපේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා විසි නමකට වැඩිය වැඩ වාසය කළා. නමුත් ඒ සිද්ධියත් එක්ක එක නම දෙනම බැගින් මේ පියංගලින් යන්න පටන් ගත්තා. මොකද අපිට සිවු පසේ ලැබෙන්නේ නැති තත්ත්වයක් එතැනින් පස්සේ උදා වුණා. ඇතැම් අය සිවුරු ඇරලා ගියා. ඇතැම් අය හමුදාවට බැඳුණා. ඇතැම් ස්වාමීන් වහන්සේලා වෙනත් ප්‍රදේශවලට වැඩම කළා. මටත් ඒ අයට මොකුත් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ අය කැමැති දෙයක් කරන්න ඉඩ දෙන්න විතරයි මට පුළුවන් වුණේ.”
අරංතලා භික්ෂු ඝාතනයෙන් ගැලවුණේ නූලෙන්
උන්වහන්සේ පවසන විට 1990 වසර වන විට පියංගල ආරණ්‍ය සේනාසනයේ ඉතිරි වී ඇත්තේ ස්වාමීන් වහන්සේ කිහිප නමක් පමණි. ඒ අතර කාලයේදී මුළු ලොවම කම්පා කළ අතිශය ඛේදනීය සිදුවීමක්ද පියංගලට නුදුරින් සිදුවිය. ඒ අදටත් රටම කතා කරන අරන්තලාවේ භික්ෂු ඝාතනයය. එම කනගාටුදායක සිදු වීම වාර්තා වූයේ 1987 වසරේදීය. කෙසේ නමුත් ඒ වන විට තම උත්සාහය මත දේශපාලන අධිකාරියේ උපකාරයෙන් ඇන්ටෙනාවක් මඟින් පාලනය වන දුරකතනයක් පියංගලට ලබා ගැනීමට සුභූති හිමියන් සමත් වී ඇත. අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ අමාත්‍ය පී. දයාරත්න මහතාගේ ඉල්ලීම මත එම දුරකතනය ලබා දී ඇත්තේ එවකට විදුලි සංදේශ ඇමැතිවරයා වූ හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාය. ලොවක් හැඬවූ අරන්තලා භික්ෂු ඝාතනය පිළිබඳ මතකය පියංගල නායක ස්වාමීන් වහන්සේ මෙසේ අවදි කළහ.
“එදා සිද්ධිය වුණු වෙලාවේ මංගලගම තැපැල් කාර්යාලයෙන් මට කෝල් එකක් ආවා. එතැන නිලධාරිනිය මගෙන් මුලින්ම ඇහුවේ ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්නවද කියලා. මම කිව්වා ඉන්නවා කියලා. දැන් මෙතැනින් ස්වාමීන් වහන්සේලා පිරුණු බස් එකක් ගියා අපි දැක්කා. දැන් අරන්තලාවේ පැත්තෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. මේ වෙඩි හඬ ඇහෙන්නම ස්වාමීන් වහන්සේලාගේ බස් එක ඒ හරියට යන වෙලාවෙමයි. අපි හිතුවේ ඔබ වහන්සෙත් වැඩියා කියලා. ඒ වෙඩි තියන්නේ ස්වාමීන් වහන්සේලාට වෙන්න ඇති. ඉක්මනටම හමුදාව දැනුවත් කරන්න කියලා ඒ නිලධාරිනිය මට කිව්වා. ඒ ගිය වෙලාව අනුව තමයි ඇයට ඒ සැකය දැනිලා තිබුණේ. මං බක්කිඇල්ල පොලිසියට කතා කළා. එහෙම සිද්ධියක් නැහැ කියලා එතැන අය කිව්වා. අම්පාරේ කඳවුරටත් කිව්වා. ඒත් කවුරුවත් දන්නේ නැහැ. ඒත් ඔහොම ටික වෙලාවක් යද්දී මහඔයෙන් අපිට ආරංචිය ආවා. මම ආරක්ෂක හමුදාව එක්ක ඉතාම ඉක්මනින් එතැනට වැඩම කෙරුවා.
ප්‍රධාන පාරෙන් අතුරු පාරට බස් එක කැලේ පැත්තට අරගෙන තමයි ඒ අය මේ අපරාධය කරලා තිබුණේ. අපි යද්දිත් කොටයක් දාලා ඒ අතුරු පාර වහලයි තිබුණේ. ඒ වෙලාවෙත් එතැන හරිම අවදානම්. නමුත් හමුදා නිලධාරීන් දෙපැත්තට වෙඩි තියාගෙන එතැනට ගියා. මාත් ඒ එක්කම ගියා. අපි එතැනට යද්දිම අපේ හෑගොඩ නායක හාමුදුරුවෝ අපවත් වෙලා. මම තමයි උන්වහන්සේව අඳුර ගත්තේ. අපවත් වෙලා හිටිය ස්වාමීන් වහන්සේලා එතැනම තියලා තුවාල වෙලා හිටිය ස්වාමීන් වහන්සේලා වහාම රෝහල් ගත කරන්න අපි කටයුතු කෙරුවා. ඒ සිද්ධියේ ඛේදනීය බව කෙතරම්ද කියනවා නම් ඇත්තටම ඒක අදටත් අදහාගන්න බැරි සිදුවීමක්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එකම ගොඩේ කපලා කොටලා මරලා ඉන්නවා දකින කොට සිවුරක් පොරවා ගත්ත මට මොන තරම් කැක්කුමක්, වේදනාවක් දැනෙනවාද. ඒ කොහොම වුණත් ඒ අත්දැකීමට අපිට මුහුණ දෙන්න වුණා.”
ඒ අනුවේදනීය අත්දැකීම සිහිපත් කරද්දී උන්වහන්සේගේ සිතට තවමත් දැනෙන සංවේගය අපට ඉතා හොඳින් දැක ගත හැකි විය. නමුත් ඒ කිසිවක් හේතුවෙන් මේ උතුම් පිං බිම හැරදා යෑමේ සිතක් උන්වහන්සේට පහළ නොවුණාහ. ඒ හේතුවෙන් පියංගල ආරණ්‍ය සේනාසනය පමණක් නොව සමස්ත ජාතියම ගලවා ගැනීමේ ගමනේ නිහඬ නියමුවෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උන්වහන්සේට උදා විය. නමුත් ඒ මරණය පෙනි පෙනී ඉන් ගැලවුණු තවත් අවස්ථා කිහිපයකට පසුවය. උන්වහන්සේගේ අදහස වන්නේ ඒ සියල්ල සිදු වූයේ උතුම් බුදුදහමේ ආනුභාවයෙන් බවය. පියංගල වැඩ වාසය කළ වසර 44ක කාලය පුරාවටම උන්වහන්සේ බුදු දහමේ ජීවමානබලය හොඳින්ම අත් විඳින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඒ වෙනුවෙන් ලබන සතියේදීත් ඉඩකඩ වෙන් කිරීමට අපි තීරණය කළේ එම තොරතුරුවල එතරම්ම වටිනා නිසාය.
මරණය පෙනි පෙනී ඉන් ගැලවෙමින් නැඟෙනහිර යුද ජයග්‍රහණයට පියංගල නායක හිමියන් දායක වූ ආකාරය පිළිබඳව ලබන සතියේදී කියවමු.
චන්දන පොන්නම්පෙරුම
