728x90 AdSpace

Latest News
Sunday, 17 January 2021

හමුදා - අසල්වැසි ක්ෂණික ක්‍රියාන්විතය වැළලෙන්න ගිය ජීවිත දෙකක් බේරා ගත් හැටි

තලංගම පොලිස් වසමේ හීනටිකුඹුර ප්‍රදේශයේ නිවෙසක ගල් බැම්මක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනකු මතට අසල තිබූ පස් කන්දක් කඩා වැටීම නිසා සිදු වීමට ගිය ජීවිත විනාශයක් ආරක්ෂක අංශ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව පැයක් පුරා සිදු කළ මෙහෙයුමකින් වළක්වා ගැනීමට ඊයේ (17) හැකියාව ලැබිණි. මේ පෙදරේරුවන් දෙදෙනා අඩි හතරක් ගැඹුරු කානුවක මේ ගල් බැම්ම ඉදිකරමින් සිට ඇති අතර ඉහළින් තිබූ පස් කන්ද ඔවුන් මතට කඩා වැටී පස්වලට යට වි තිබේ.

විශාල හඬක් නගමින් පස්බැම්ම පෙරළි ගිය සැණින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසියට සහ යුද හමුදාවට දැනුම් දී තිබූණි.

යුද හමුදා කණ්ඩායමක් වහාම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි අතර ඔවුන් ප්‍රදේශවාසීන් හා එක්ව පුද්ගලයන් දෙදෙනා බේරාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

පස්බැම්මට යටවී සිටි එක් පුද්ගලයෙක් බේරාගෙන ගිලන් රථයකට භාරදීමට කඩිනමින් කටයුතු කර තිබුණත් සිරවී සිටි අනෙක් පුද්ගලයා බේරා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ඔවුන් පස් අතර සිරවී සිටි පුද්ගලයාට නළයක් මාර්ගයෙන් ඔක්සිජන් සැපයීම සිදුකරමින් මේ ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබුණි.

ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සහායෙන් අනතුරුව බේරාගත් එම පුද්ගලයා ද ගිලන් රථයකින් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මේ දෙදෙනාගේ ජීවිත කඩිනමින් බේරා ගැනීමට හැකි වූ නිසා ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.

දිනමිණ
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හමුදා - අසල්වැසි ක්ෂණික ක්‍රියාන්විතය වැළලෙන්න ගිය ජීවිත දෙකක් බේරා ගත් හැටි Rating: 5 Reviewed By: lakmina