පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසාධිපති උඩුවිල සිරිධම්ම (65) හිමියන්ගේ මරණය සිදුවී ඇත්තේ කටට රෙදි පාන්කඩ වැනි යමක් ඇතුළු කිරීම හේතුවෙන් සිදුවූ හුස්ම හිරවීමක් නිසා බව මීගමුව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා පෙරේදා (05) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
උන්වහන්සේට යම් පහරදීමක් සිදුවී ඇති නමුත් එම පහරදීම මරණයට හේතු වූ නැතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද කොටදෙණියාව පොලිසියේ නිළධාරියෙක් සඳහන් කළා.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මේ මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරින් ඩී.කේ. විජේවර්ධන මහතා විසින් සිදු කරනු ලැබ තිබෙනවා.
උන්වහන්සේ පැහැරගෙන ගොස් කිසියම් ස්ථානයකදී ඝාතනය කිරීමෙන් අනතුරුව දේහය ඇඳ ඇතිරිල්ලක හෝ දෙකක ඔතා මීරිගම-කොටදෙණියාව මාර්ගයේ නාවාන සොහොන් බිමට ගෙනැවිත් පෙට්‍රල් දමා පුළුස්සා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
මේ ඝාතනය කර ඇත්තේ එම විහාරයේ වැඩ සිටින 12 හැවිරිදි සාමණේර හිමිනමකට සිදු කළ බව කියන අපචාර සිද්ධියක් මුල් කරගෙන බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට තර්ජනය කර මුදල් හා වටිනා දේපළ ලබා ගැනීමේ අරමුණින් මේ පැහැරගැනීම සිදුව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස සාමණේර හිමියන්ගේ මවත්, ඇගේ සැමියා හා මිල්ලනිය පොලිසියේ නිලධාරිනියකගේ සැමියාත් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා ප්‍රධාන සැකකාරියගේ අනියම් සැමියා බව ද වාර්තා වනවා.
සැකකරුවන් පිරිස ඉකුත් දෙවැනිදා රාත්‍රීයේ විහාරස්ථානයට ගොස් අපචාර සිද්ධිය තමන් බාරගන්නා බවටත්, ඒ සඳහා මුදල් ලබා දීමට කැමැත්ත පළ කරන බවටත් සඳහන් කරමින්, විහාරාධිපති හිමියන්ගෙන් බලෙන් ලිපියක් ලබා ගැනීමට උත්සහ කර ඇති අතර උන්වහන්සේ එම ලිපිය ලබා දීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් සැකකරුවන් විහාරාධිපති හිමියන්ට පහර දී පැහැරගෙන ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් සඳහන් කළා.
නමුත් සිරිධම්ම හිමියන් ලිපිය ලිවීම ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරුවන් හංවැල්ල පොලිසියට යන බව පවසා ඇති අතර "එහෙනම් මේක පොලිසියට ගිහින් බේරගනිමු.." යැයි පවසා උන්වහන්සේ ද සැකකරුවන් සමඟ රථයට ගොඩ වී තිබෙනවා.
සැකකරුවන් පොලිසියට නොයා උන්වහන්සේ පැහැරගෙන ගොස් තිබෙන්නේ ඒ අනුවයි.
සැකකරුවන් වෑන් රථයෙන් විහාරාධිපති හිමියන් පැහැරගෙන යන අතරේ සැකකාරිය ඇයට අයත් යතුරුපැදියෙන් වෑන් රථය පසුපස ගොස් තිබෙනවා.
සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බ්‍රෝකර්වරියක ලෙස කටයුතු කරන බවත්, ඇය සමඟ ව්‍යාපාර කටයුතු කරන පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත් සඳහන්.
තමන්ට විහාරාධිපති හිමියන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට සාමණේර හිමියන් තම මවට (සැකකාරියට) දැනුම් දීමෙන් අනතුරුව ඇය මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ගෙන් කිහිප අවස්ථාවකදී දුරකථනයෙන් විමසා ඇතත් උන්වහන්සේ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සැකකරිය විහාරාධිපති හිමියන් හමුවීමට පෙර විහාරස්ථානයට පැමිණ ඇති අතර එහිදී උන්වහන්සේට මුදල් යහමින් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.
පසුව සැකකාරිය දුරකථනයෙන් කතා කර නිතරම මුදල් ඉල්ලා ඇති අතර, රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට විහාරාධිපති හිමියන් කැමැත්ත පළ කර තිබෙනවා. පැහැරගත් විහාරාධිපති හිමියන් සැකකරුවන් විසින් මාකොළ උතුර උද්‍යාන මාවතේ පාළු නිවසකට රැගෙන යනු ලැබ ඇති අතර එම නිවසේ හිමිකරු ප්‍රධාන සැකකාරිය සමඟ බ්‍රොකර් රැකියාවේ නිරත වන්නෙක්.
සැකකාරියගේ දැනුම් දීම මත විහාරාධිපති හිමියන් එම නිවසේ උඩුමහලේ කාමරයකට ගෙන ගොස් එහිදීද ලිපිය ලියන ලෙසට තර්ජනය කර සැකකරුවන් උන්වහන්සේට පහර දී තිබෙනවා.
පසුව පිරිස උන්වහන්සේගේ කකුල් අතපය බැඳ ඇඳ මතට දමා ඇති බවත් එහිදී උන්වහන්සේට සිහිසුන් වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
සිද්ධියේ සෙසු සැකකරුවන් එදින රාත්‍රීයේම පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු හා සැකකාරිය පමණක් එම නිවසේ කාමරයක නැවතී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.
රාත්‍රී කාලයේ විහාරාධිපති හිමියන්ට සිහිය ලැබී උන්වහන්සේ පැන යාමට උත්සහා ගෙන ඇති අතර ඒ බව දැනගත් ප්‍රධාන සැකකරු හිමියන්ට පහරදී අත පය බැඳ කටට ප්ලාස්ටර් අලවා ගොස් ඇති බවත් එහිදී උන්වහන්සේ අපවත් වී ඇති බවත් පොලිසිය පැවසුවා.
පසුදින එනම් තුන්වැනිදා අළුයම සැකකරුවන් විහරාධිපති හිමියන් අපවත්වී ඇති බව දැනගෙන සිරුර නිවසින් රැගෙන ගොස් වෙනත් ස්ථානයක දැමීමට සැලසුම් කර ඇති අතර, විහාරාධිපති හිමියන්ට දෙමහල් නිවසේ හිමිකරුගේ කලිසම් කමිස අන්දවා මුහුණු ආවරණයක් දමා ත්‍රිරෝද රථයක නංවාගෙන ගෙන ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය සිය යතුරුපැදියෙන් ත්‍රීරෝද රථය පසුපස ගොස් ඇති බවත්, ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරු විහාරාධිපති හිමියන්ගේ මෘතදේහය ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ මැදිකර වාඩිකරවා ගෙන ගොස් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සැකකාරිය යන අතරමඟදී කඩවත ඉන්ධනහලකින් යතුරුපැදියට ඉන්ධන ලබාගෙන ඇති අතර ඇය වැඩිපුර ඉන්ධන කෑන් එකක් ද ලබාගෙන තිබෙනවා.
සැකකරුවන් හිමියන්ගේ සිරුර තැන් කිහිපයකට දැමීමට උත්සහා ගෙන තිබුණද වැඩි පිරිසක් එම ප්‍රදේශවල ගැවසීම හේත්ුවෙන් ඔවුන්ගේ උත්සහ සාර්ථක වී නැහැ.
සැකකරුවන් පසුව ත්‍රීරෝද රථය කොටදෙණියාව නාවාන සුසාන භූමියට ගෙන ගොස් සිරුර තවත් පිරිසකගේ සහයෙන් ඇඳ ඇතිරිලි දෙකක ඔතා පෙට්‍රල් වත්කර වළක දමා ගිනි තබා ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ප්‍රධාන සැකකරු හා සැකකාරිය හෝකන්දර ජෝතිකාරාම පෙදෙසේ නිවස සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර මාකොළ නිවසේ පදිංචි සැකකරු ද හිඳ තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරිය, ඇගේ සැමියා, අනියම් සැමියා හා මාකොළ නිවසේ හිමිකරු ද වනවා.
මේ ඝාතනයට යොදා ගත් යතුරුපැදියක්, ඔප්පු දිනපොත් ආදී භාණ්ඩ රැසක් ද නිවසේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (05) පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.
මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි
ඉන්දික රාමනායක හා බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..
මේ අතර අද මව්බිම පුවත්පතේ මේ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වාර්තාව පහතින් බලන්න.....
හංවැල්ල, පොලිස් වසමේ තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම හිමියන් ඝාතනය කිරීමෙන් පසු උන්වහන්සේගේ සිරුර මාකොළ නිවෙසේ සිට කොටදෙණියාව නාපාන සුසානභූමිය දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රිය, බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (06දා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ සිරිධම්ම හිමියන්ගේ සිරුර ත්‍රිරෝද රියෙන් රැගෙන ගිය තවත් එක් සැකකරුවකු සමඟය. අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේද ඊයේ (06දා) දහවල් කොළොන්නාව ප්‍රදේශයේ රැඳී සිටියදීය.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රිරෝද රිය සොයා ගැනීමට හැකි වූ බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ‘මව්බිම’ට කීවේය.
පොලිස් නිලධාරීන් එම ත්‍රිරෝද රිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සිටි තැනැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු සිරිධම්ම හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ නැති බවය.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ ලක්මාල් නමැත්තා මළ ගෙදරකට යෑමට ඇති බව කියමින් තමන්ගෙන් ත්‍රිරෝද රිය රැගෙන ගිය බවය. පොලිස් කණ්ඩායම ඊයේද ලක්මාල් සොයමින් ස්ථාන කිහිපයක් පිරික්සූහ.
සිරිධම්ම හිමියන් ඝාතනය කිරීමෙන් පසු ලක්මාල් නමැත්තා මෙම ත්‍රිරෝද රිය ඉල්ලාගෙන මාකොළ නිවෙසට පැමිණ ඇති අතර ඔහු සිය මිතුරකු හා මීට කලින් අත්අඩංගුවට ගත් සුමිත් නමැත්තා සමඟ සිරිධම්ම හිමියන්ගේ සිරුර ත්‍රිරෝද රිය මැද තබාගෙන කොටදෙණියාව තෙක් රැගෙන ගොස් ඇතැයි විමර්ශනයේදී හෙළි වී ඇත.
සිරිධම්ම හිමියන්ගේ සිරුරට කලිසමක් හා කමිසයක් අන්දවා ඊට උඩින් ඇඳ ඇතිරිල්ලක් ඔතා මුවට ‘මාස්ක්’ එකක් දමා සිරිධම්ම හිමියන් ත්‍රීවීලරයේ මැද තබාගෙන සුමිත් හා අනෙක් පුද්ගලයා කොටදෙණියාව තෙක් උන්වහන්සේගේ සිරුර රැගෙන ගොස් තිබේ.
ඒ අවස්ථාවේ ත්‍රිරෝද රිය පදවා ඇත්තේ දැනට පොලිසියට කට්ටි පනිමින් සිටින ලක්මාල් බව විමර්ශන නිලධාරීහු කීහ.
සිරිධම්ම හිමියන්ගේ සිරුර මෙසේ ත්‍රීවීලරයෙන් රැගෙන ගිය සුමිත් නමැත්තාත් අනෙක් සැකකරුත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන සිදුකරන බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
මේ ලිපිය "මව්බිම" පුවත්පතෙන් උපුටා ගනු ලැබූවකි.
