728x90 AdSpace

Latest News
Tuesday, 19 January 2021

මත්වතුර විසෙන් මිය ගිය පුතුගේ මළ ගෙදර දා , වාහනයකට යට වූ අම්මා පුතු සමග එකම තැන මිහිදන් වෙයි

මතුගම තානායමේ හිමිකරු වන අසංක ජයරත්න තිස් අට හැවිරිදි දෙදරු පියෙක්. කුඩා දියණියන් දෙදෙනෙකුට ආදරණීය පියෙකු වූ ඔහු පදිංචිව සිටියේ මතුගම, වලිමානාන, ලක්මාලි නිවසේ යි.
 
කළුතර, මතුගම ප්‍රධාන මාර්ගයේ කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණෙන විට දකුණු පැත්තේ පිහිටි මේ දෙමහල් නිවස තාප්පයකින් වටකොට ගේට්ටු යොදා ඇති අතර ගේට්ටු විවෘත වන්නේ මහ මාර්ගයට යි.

ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වන අසංක කාගේත් දුකට සැපට පිහිට වන්නේ කළ හැකි හැම උපකාරයක්ම කරමිනුයි. මේ නිසා කවුරුත් ඔහුට ආදරය කළ අතර ඔහුගේ නිරහංකාර ගතිපැවතුම් වලට කවුරුත් ආදරය කළා.
 
වැඩිමහල් සහෝදරියකට හා බාල සහෝදරියකට මැදිව හැදුනු අසංකට පියා අහිමි වෙන්නේ මීට වසර හයකට පමණ පෙරයි. අක්කා විවාහ වී වෙනම පදිංචි වුවත් නංගි විවාහ වී සැමියා හා කුඩා දියණිය සමඟ අසංකගේ නිවසේ ජීවත් වනවා.
 
එමෙන්ම ඔහුගේ බිරියගේ මව හා පියා ද අසංකගේ මවගේ ඥාති නැගණියක් හා ඇගේ දියණියට ද රැකවරණය ලබා දෙන්නේ මේ නිවසේ වුවත් ඒ සියලු දෙනා ඔහුට බරක් වුයේ නැහැ.
 
අසංකගේ මව සුසිලාවත් හැට දෙහැවිරිදි වියේ පසු වුනා. ඇය මේ නිවසේ මිණිපිරියන් තිදෙනාගේ සුරතලය විඳිමින් කල් ගත කළේ දරුවන්ගේ අඩුපාඩු ද සොයා බලමිනුයි.
 
කාලය මෙසේ ගෙවී යද්දි පසුගිය හයවැනිදා මේ පවුලේ අය මෙන්ම මතුගම ජනතාවත් සෝ සයුරේ ගිල්වමින් අසංක මිය ගියා.
 
මේ ආරංචිය කණ වැකුණු ඥාතීන් මෙන්ම ඔහුගේ මිතුරන් ද නිවසට පැමිණියේ ඔහු වෙනුවෙන් කළ හැකි යුතුකම් ඉටු කිරීමටයි.
 
අසංකගේ මවගේ දුරින් ඥාතියෙකු වන පුද්ගලයෙකු මේ නිවසට පැමිණ තිබුණේ නෑ කමටත් වඩා ඔහු මිතුරෙකු මෙන් අසංකට හිතවත්ව සිටි නිසයි.
 
මතුගම, අළුබෝගහවත්ත බදුගම පදිංචිකරුවෙකු වන ඔහු හතළිස් නම හැවිරිදි විවාහකයෙකු වන අතර වෘත්තියෙන් කරවල ව්‍යාපාරිකයෙක්.
 
කරවල සුමිත් ලෙස ජනප්‍රිය ඔහු වාහන කීපයකද හිමිකරුවෙක්. ඔහු තවත් කීප දෙනෙකු සමඟ සුදුපාට කොඩියක් සවි කර ගත් මෝටර් රථයෙන් මළගෙදර පැමිණ මහන්සි වූවා.
 
වසර කීපයකට පෙර අසංකගේ මස්සිනා එනම් නැගණියගේ සැමියාට මුදල් වුවමනාවක් ඇති වී තිබුණේ යම් හදිසි අවශ්‍යතාවයක් සඳහා යි. එය ලක්ෂ දහයක් වන නිසා ඒ අවස්ථාවේ අසංකට ලබා දීමට නොහැකි වූ අතර ඔහු හිතවත් සුමිත්ගෙන් ඉල්ලා සිටියේ තමා වෙනුවෙන් ඒ මුදල ඔහුට ලබා දෙන ලෙසයි.
 
මිතුරාගේ ඉල්ලීමට පිටු නොපෑ සුමිත් ඒ මුදල ලබා දුන්නේ මිතුරාට ගරු කිරීමක් ලෙසයි. ඒත් ඔහුගෙන් මුදල් ලබා ගත් පුද්ගලයා ආපසු සුමිත්ට ලබා දීම දින දින ප්‍රමාද කළත් මිතුරා ගැන තිබූ විශ්වාසය නිසා එය ආපසු ඉල්ලීමට මැළිකමක් දැක්වුවා.
 
එහෙත් දැන් නොසිතුව ලෙස මිතුරා මිය ගොසිනුයි. තවමත් ඔහුගේ දේහය ඇත්තේ ද රෝහලේ යි. එහෙත් තමන් ලබා දුන් ණය මුදල ගැන සුමිත්ට ඇත්තේ බියක්.
 
එය ආපසු ලබා ගන්නේ කෙසේ දැයි ඔහු සිතන්නට ඇති. මේ නිසා ඔහු අසංකගේ මස්සිනාගෙන් මේ ගැන විමසුවා.
 
"අසංකව සලකලා තමයි තොගෙන් මං සල්ලි ඉල්ලුවේ නැත්තේ මෙච්චර කල්. දැන් දියන් මගෙන් ගත්ත සල්ලි ටික..."
 
සුමිත් මිතුරාගේ මස්සිනාගෙන් මුදල් ඉල්ලා කතාවක් ඇද ගත්තා.
 
"මං උඹට සතයක්වත් දෙන්නේ නෑ. පුළුවන් නං ගනින්.."
 
"මං දන්නවා ගන්න හැටි.. හිටපන්කෝ මම උසාවි දාලා අරන් පෙන්නන්න.."
 
මෙම කතාබහ ඇති වුනේ මළගෙදර සිට කළුතර දෙසට මීටර් තිහක් පමණ දුරින් වූ පාළු ඉඩමකදී යි. ඒ අවස්ථාවේ සුමිත් මෝටර් රථය නතර කර තිබුණේ එම ඉඩමේ වන අතර ඔහු මිතුරන් කීප දෙනෙකු සමඟ මත්පැන් පානයට කරමින් සිටියා.
 
අසංකගේ නැගණිය හා මස්සිනා එම ස්ථානයට පැමිණ සිටියදී මේ බහින් බස් වීම ඇති වූ අතර එවිට රාත්‍රී 12.30 පමණ වී තිබුණා.
 
ඉන්පසු නැගණිය හා මස්සිනා පැමිණ තම නිවසේ ගේට්ටුව ඉදිරිපිට මාර්ගයේ නතර වී කෑ කෝ ගසමින් සිටින විට සුමිත් තනිවම වාහනයේ විදුලි එළි නිවා දමා පණ ගන්වාගෙන කළුතර සිට මතුගම දෙසට ධාවනය කළා.
 
මෙලෙස පැමිණි මෝටර් රිය ගේට්ටුව ඉදිරිපිට නතර කරන අතර මස්සිනා නිවස දෙසට දිව ගොස් සවලක් රැගෙන එන්නේ සටනේ උච්චතම තැන එළඹෙන අතරේ යි.
 
අවට සිටි අයද එතැනට රැස්වන අතර මස්සිනා අතේ ඇති සවලෙන් මෝටර් රියට දෙවරක් පහර දෙන විට පිරිස සවල සමඟ ඔහුව අල්ලා ගත්තා.
 
හැන්දෑවේ සිට දියණියගේ සැමියා සමඟ සුමිත් ඇති කරගෙන ඇති මේ නෝක්කාඩුව කණ වැකුණූ සුසිලාවතී මාර්ගය දෙසින් ඇසුණූ කාලගෝට්ටිය නිසා කලබල වී දිව්වේ බෑණා බේරාගැනීමට යි.
 
එහෙත් ඊට ඉඩ නොතැබූ සුමිත් වාහනය රේස් කිරීමත් සමඟ එහි ගැටෙන සුසිලාවතී මව වාහනය ඉදිරි පිටට වැටුණත් රියදුරා නොනවත්වා එය ධාවනය කරන්නේ පිරිස නතර කරන ලෙස කෑ මොර දෙද්දි යි.
 
පොළවේ සිට පොඩි උසකින් යුතු මේ රිය ඇය යට කරගෙන ඉදිරියට ඇදුනු අතර බරපතල තුවාල ලැබූ කාන්තාව වෑන් රියක රෝහලට ගෙන ගියත් ඇයව බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වුයේ නැහැ.
 
ශරීරයේ පපුව ප්‍රදේශයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට බරපතල ලෙස හානි සිදු වී ඇති බව ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර අධික ලෙස මත්වතුර පානය කිරීම නිසා ඇති වූ තුවාල මත ඇගේ පුතාගේ මරණය සිදුව ඇති බවද තහවුරු වුණා.
 
මතුගම වැලිමානාන ගම්මානයම හඬවමින් එකම සාලයේ එක ළඟ හිත්පිත් නැති ලෙස ඝාතනය වූ මවත් මත්වතුර විසෙන් ජීවිතය අහිමි කරගත් පුතාත් නිසොල්මනේ සැතපී සිටියා.
 
මේ අතර පසුදිනම මතුගම පොලිසියට පැමිණි සුසිලාවතීගේ මරණයට වගකිව යුත්තා පොලිසියට බාර වී තිබුණා.
 
වීනිතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මත්වතුර විසෙන් මිය ගිය පුතුගේ මළ ගෙදර දා , වාහනයකට යට වූ අම්මා පුතු සමග එකම තැන මිහිදන් වෙයි Rating: 5 Reviewed By: lakmina