30 වසරක යුද්ධය කියන්නේ කිසිම දවසක කිසිම කෙනෙකුට අමතක කරන්න හැකි විදිහේ "මතකයක්" නෙවෙයි. එදා යුද බිමේදී එල්ටීටීඊ ත්‍රස්තයින්ට එරෙහිව සටන් වැදුණු අපේම විරු සොහොයුරන්ට ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් වුණා.
මේ තියෙන්නේ තරුණියක් එවන් අභීත සෙබළෙකු ගැන මුහුණු පොතේ ලියපු සංවේදී සටහනක්...
ආදරණීය හමුදා සෙබලා...
අමතක නොවෙන මතක..
මං පුංචි කාලේ ඒ කියන්නේ 1පංතියේ ඉන්න දවස්වල වගේ..ඒ කාලේ මේ පැත්තෙත් කොටි කලබල තිබුණා.අපිට ඒවා තදින්ම බලපෑවෙ නැතත් අපිත් නැගෙනහිර නිසා අපි ජීවත් වුනේ ගොඩාක් බයෙන්..මං පුංචි දවස් වල අම්මයි අප්පච්චි නිතරම ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්නම නැති තරම්..
අපේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන නිසා අම්මයි අප්පච්චී දවසේ වැඩි වෙලාවක් ගත කලෙ කුඹුරේ..
ඉතින් මං ගෙදර හිටියේ අක්කලා දෙන්නයි මගෙ යාළුවයි එක්ක.යාළුවගේ අම්මයි අප්පච්චීයිත් කලේ ගොවිතැන නිසා එයාවත් දාලා ගියේ අපේ ගෙදර..ඒ නිසා උදේ ඉස්කෝලේ ගිහින් ඇවිත් අපි හවස සෙල්ලම් කලා..
ඔහොම කාලේ ගෙවෙද්දි සදුම්පුර කෑම්ප් එකේ හමුදා මාමලා ජන්ගල් යනවා කියලා රූස්සමලේ කන්දේ යන්න අපේ ගෙවල් පාස් කරගෙන යනවා කියලා ආරංචියක් ආවා..
ඉතින් අප්පච්චී අක්කලා දෙන්නට කියලා ගිහින් තිබුණා අපි බය වෙන නිසා එළිය පහලියට යවන්න එපා කියලා ඒ දවස් වලට.ඒත් ඉතින් අපි වෙනදා වගේම සෙල්ලම් කලා..එකපාරටම කොටි වගේ මූණූ වහ ගත්ත ,කොලම කොළ පාට ඇදුම් ඇදගත්ත,ගල් ගෙඩි වගේ බෑග් එල්ලගත්ත අය ටිකක් අපි දොලේ නා නා ඉද්දී රක්ෂිතේ පැත්තෙන් අපේ ගෙවල් පැත්තට ආවා..
අක්කලා දෙන්නා අපි දෙන්නවත් අරගෙන ජෑම් ගහ යට බෙනේ ලග හැංගුනා.එතන කාටවත්ම අපිව පේන් නෑ..ඒත් අපිට එතනට අපේ ගේ හොදට පේනවා.
මේ යක්කු වගේ මිනිස්සු ටික අපේ ගෙට රිංගනවා දැකලා අපි හොදටම බය වුනා..මායී ගංගයි අඩද්දි අක්කලා දෙන්නා අපි දෙන්නගේ කටවල් දෙක අත් දෙකෙන් තද කරගෙන හිටියේ..
ඊට පස්සේ ඒ මිනිස්සු යනවා දැක්කත් අපි හවස් වෙනකම්ම ජෑම් ගහ යටින් එළියට ආවෙ නෑ..අම්මලා ගෙදර ඇවිත් අපිව හොයනවා ඇහෙද්දි තමයි අපි එළියට ආවේ..මදුරුවෝ කාලා අපි ඉදිමිලා හිටියේ එදා..අනික අපි දවල්ට කාලා හිටියෙත් නෑ එදා.
ඊට පස්සේ තමයි අප්පච්චි අපි ඔක්කොම වට කරගෙන කිව්වේ එයාලට ආයේ බයේ හැන්ගෙන්න ඕනී නෑ කියලා..එයාලා එද්දි බයනම් ගේ දොර වහගෙන ගෙට වෙලා ඉන්න කියලා..
එදා එයාලා අපේ ගෙට ඇවිත් හට්ටි මුට්ටි පිහගෙන අපේ දවල් කෑම කාලා ගිහින් කියලා දැන ගත්තාම මට ගොඩාක් තරහා ගියා..මං අප්පච්චී එක්ක ඒ මිනිස්සුන්ට ගොඩාක් බැන්නා..එහෙම අහන්නේ බලන්නේ නැතිව ගෙදරකට පැනලා අනුන්ගේ දේවල් කන්නේ බොන්නේ නරක මිනිස්සු කියලා.
එවලේ මොකුත්ම නොකියා හිනා වෙලා අප්පච්චී කිව්වේ ඒක වැරැද්දක් තමයි ඒත් එයලා නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කියලා..ඊට පස්සේ මගෙයි ගංගාගෙයි ප්‍රස්න වලට අප්පච්චිගෙන් ලැබුණ උත්තරත් එක්ක හමුදාව ගැන තිබුන තරහා අඩු වෙලා ගිහින් ඒ මිනිස්සු ගැන අනුකම්පාවක් අපේ පුංචි හිත් වලට දැනෙන්න පටන් ගත්තා..
ආයෙමත් දවස් දෙකකින් විතර අර විදියටම හමුදා මාමලා ආවා.එදා අපි අප්පච්චී කියපු විදියට ගෙදර දොරවල් දෙක වහගෙන ගේ ඇතුලට වෙලා හිටියා..එදා එයාලා අපේ පිලිකන්නේ තිබුන පැපොල් ගහේ අමු ගෙඩි කඩාගෙන බර බර ගගා කනවා අපි අහගෙන හිටියා..
ඊට පස්සේ ආයේ එයාලා එද්දි අපි දොර වැහුවේ නෑ..ඉතුරු වෙච්ච බත් කාලා යන විදිය හොරෙන් හැන්ගිලා බලාගෙන හිටියා..සමහර දවස් වලට අපි එයාලට තියලා නොකා හිටියා..ඒක දැනගෙන අම්මා උදේට අපිට වෙනදට වඩා උයලා යන්නත් පුරුදු වුනා..
එක දවසක් එක මාමා කෙනෙක් විතරක් ආවා..එයා හරි අමාරුවෙන් ඇවිද්දේ..ගංගා බයේ හැංගෙද්දි මං ඒ මාමා ඉස්සරහට ගියා..
මුණ පුරා රැව්ල වවාගෙන ඔලුවට ලොකුම ලොකු යකඩ තොප්පියක් දාගෙන මුළු ඇගම වැහෙන්න ඇදගෙන හිටපු ඒ මාමගේ පේන්න තිබුණේ ඇස් දෙක විතරයි..ඒත් ඒ ඇස් දෙක හරිම පැහැදිලිව මට පෙනුනා..
" මාමා අද ඇයි ඔයා තනියම..?"
මං එහෙම අහද්දි ඒ ඇස් අමාරුවෙන් හිනා වෙනවා මං දැක්කා..
"සුද්දී අද මාමාට අනික් අයව මග ඇරුනා..අද මාමාට ටිකක් අසනීපයි"
ගොරෝසූ කටහඩකින් මාමා එහෙම කියද්දි මං පුදුම වුනා..මොකද මට ගෙදරට හැමෝම කිව්වේ සුද්දී කියලා.ඉතින් කවදාවත් කතා කරලාවත් දැකලවත් නැති මාමා එහෙම කියද්දි මං ඊලගට ඇහුවේ
"මාමා අපේ අප්පච්චිගෙ යාළුවෙක් ද කියලා"
ආයෙමත් මාමා නෑ සුද්දී කියද්දි මට පුදුම හිතුනා..
එදා ඉක්මනින් යන්න ඕනී ආයෙමත් ඔයාව බලන්න එන්නම් කියලා මාමා යන්න ගියා.
ඊට පස්සේ එයාලා ආයේ එන හැම දවසකම මං මාමා එක්ක කතා කලා..මුල්ම දවස් වල හැමෝම එක වගේ නිසා මාමා කතා කරනකම් මට මාමාව අදුර ගන්න බැරි වුනත් ටික දවසක් යද්දි මාමා කතා කරන්න කලින් මං දුවගෙන ගිහින් මාමාගේ අතේ එල්ලුනා..ඒ සමහර දවස් වලට මං මාමාට කිව්වා මාව වඩා ගන්න කියලා..මාමා එයා ලග ගදයි කියලා මුල්ම දවස්වල බෑ කිව්වත් පස්සේ මගේ බල කිරීමට මාව වඩා ගත්තා..ඒ හැම දවසකම මාමා යද්දී අපි දෙන්නගේ නළලට හාදුවක් දීලා යන්න අමතක කලේ නෑ..
ඉතින් ඔහොම කාලය ගෙවෙද්දි මට මාමාත් මාමා අපිටත් පුදුම ආදරේකින් හිටියේ..දවසක් මාමා ඇවිත් කතා කරේ වෙනදට වඩා වෙනස් විදියට..
එදා මාමා එයාගේ තඩි බෑග් එක ඇදලා ලස්සන පෑන් දෙකක් ගංගාගෙයි මගෙයි අත් දෙකේ තියලා කිව්වා..
සමහර විට මාමාට ආයේ සුද්දිව බලන්න එන්න බැරි වෙයි කියලා..මාමා ආවේ නැත්තම් ආයේ අඩන්න එපා කියලා..මාමා මතක් වෙන වෙලාවට රෑ අහස බලන්න කියලා..ඒ අහසේ වැඩීපුරම දිළිසෙන තරුවට මාමාට කියන්න තියෙන ඔක්කොම කියන්න කියලත් කිව්වා..
එදා මාමා මාව ගොඩාක් වෙලා තුරුල් කරගෙන ඉදලා දෙතුන් වතාවක් මූණට හාදූ දීලා ගියේ..
කිව්වා වගේම මාමා ආයෙ ආවේ නෑ..මං දවස් ගානක් මාමා එක්ක කතා කරන විදියට ලස්සන තරුවක් එක්ක කතා කලා..ඒත් තරුව මාමා වගේ උත්තර දෙන් නැති නිසා මට ගොඩාක් දවසට ඇඩුනා..මට හීනෙනුත් මාමාව පෙනුනා..
ඊට පස්සේ තමයි දවසක් රේඩී එකේ ප්‍රව්‍ර්ති වලට කිව්වේ තොප්පිගල සටනට සදුම්පුර හමුදා සෙබලු අරන් ගියා කියලා..අප්පච්චි අම්මා එක්ක කිව්වා
"සුද්දිගේ මාමාත් එහේ ගිහින් වෙන්න ඇති කියලා"
ඒත් මං හිතාගෙන හිටියේ මාමා ඉක්මනින් එයි කියලා..ඒත් මාස ගානක් ගත උනත් මාමා ආයෙ මාව බලන්න ආවේ නෑ..මං අඩනවා අහන්න ඉන්න බැරිම තැන අප්පච්චි දවසක් අර පෑනත් අරගෙන සදුම්පුර කෑම්ප් එකට මාව එක්කගෙන යන්න පොරොන්දු වුනා..
අපි කෑම්ප් එකට ගිහින් පෑන ලොකු මහත්තයට දීලා මාමා ගැන ඇහුවා.ඒත් අපි මාමාගේ නමක්වත් දැනගෙන හිටපු නැති නිසා විස්තරයක් හොයා ගන්න අමාරුයි කියලා ලොකු මහත්තයා කිව්වා..
ඊට පස්සේ මං පෑන ගලවලා ඒක යට තිබුණු කොලේ ලොකු මහත්තයට පෙන්නුවේ ඒකෙන්වත් මගේ මාමා ගැන දැනගන්න පුළුවන්ද බලන්න.ඒක අරගෙන ලොකු මහත්තයා ලොකුම ලොකු පොතක් පෙරලලා පොටෝ එකක් මගේ අතේ තිබ්බා..
"මේ ඔයාගේ මාමාද බලන්න.."
ඇත්තටම ඔව්..ඒ ඇස් දෙක..මං ඒ පොටෝ කෑල්ල පපුවට තියාගෙන ඔව් මේ මගේ මාමා කියලා කෑ ගැහුවා..
ඒත් ඊට පස්සේ ලොකු මහත්තයා කිව්වදේන් මගේ කකුල් දෙක පන නැතිව ගියා..
"ඔයාගේ මාමා අපේ රට බේර ගන්න එයාගේ ජීවිතේ පුජා කරා බබා.."
මං ගොඩාක් ඇඩුවා..අහම්බෙන් මගේ ජීවිතේට ආපු මාමා නිසා දවස් ගානක් නොකා නොබී ඇඩුවා.මට කොටි ගැන පුදුම වෛරයක් දැනුනේ..
ඊට පස්සේ ලොකු මහත්තයා කියපු නිසා අප්පච්චී දවසක් කෑම්ප් එකේ නිදහස් උත්සවේට මාව එක්කගෙන ගියා.එදා මාමා බැදපු නැන්දත් ඇවිත් හිටියා..එයා මං ලගට ඇවිත්
මේ සුද්දී දුව නේද ඇහුවා..මං පුදුමෙනුත් පුදුම වුනා..මාමා වගේම එයත් මාව වඩාගෙන හාදූ දුන්නා..මං එයාගෙන් ඇහුවා මං සුද්දී කියලා එයා දන්නේ කොහොමද කියලා..
එතකොට එයා මාවා බිමින් තියලා ඇදගෙන හිටපු සුදු සාරී පොටෙන් කදුළු පිහින්න ගමන්
"දන්බවද..මාමා මට මෙහෙ ඉද්දි කතා කලේ සති දෙකකට එක දවසයි..ඒකත් බොහොම පුංචි වෙලාවයි..ඒ පුංචි වෙලාවෙත් මාමා මට ඔයා ගැන තමයි කිව්වේ..කවදා හරි ඔයා වගේ බෝල ගොඩියක් ගේමු කියලා මාමා මට කිව්වා..
ඒ වචන මාව කොච්චර ඇඩෙව්වද කියලා මතක නෑ..අදටත් ආමී යුනිපෝම් එකක් දකිද්දි ඇස් දෙකට කදුලක් ගේන්න මාමාගේ මතකයට පුළුවන් වුණා..මං එදායි පස්සේ හැම නිදහස් දවසකම මාමා වෙනුවෙන් වෙනමම පහනක් පත්තු කලා. විනාඩි 3ක නිශ්ශබ්දතාවය රකිද්දී ලොකූ හුස්මක් අරගෙන මාමාගෙ මතකය ඒකට පුරවලා පහලට දාන්න පුරුදු වුණා..
මේ වගේ තවත් කතා ඇති..මගේ මාමා වගේම ජීවිත පූජා කරපු හැම සෙබලෙක්ම නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ...පක්ෂ පාට පැත්තකින් තියලා අපි හැමෝම ඒකට ගරු කරමු
නදී තේනුවර

