නිට්ටඹූවේ පදිංචි වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක මුහුණු පොතෙන් හඳුනාගෙන ඇතිකරගත් පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය රවටා දඹානට රැගෙන ගොස් ස්ත්‍රී දූෂණයක් කළැයි නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආදීවාසි තරුණයා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා ඊයේ (07) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දඹාන ගුරුගෙදර පදිංචි ඌරුවරිගේ නුවන් ජයතිස්ස නම් විසි හැවිරිදි ආදී වාසි තරුණයෙක්.
වයස අවුරුදු 16 යි මාස හයක බාලවස්කාර දැරියක් නීත්‍යානූකූල භාරකත්වයෙන් අපහරණය කළ ස්ත්‍රී දූෂණයක් සිදු කළැයි පොලිසිය මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම බාලවස්කාර දැරිය පැහැරගෙන ගොස් දඹාන ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටීමට අනුබල ආධෘර දුන් බව කියන සැකකරුගේ මව වන ඩබ්ලිව්. එම්. ශ්‍රියාන් යන අයද අත්අඩංගුවට ගත් පොලිසිය ඇයද අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී එම සැකකාරිය රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැරීමට ද අධිකරණ නියෝග කළා.
සැකකරු බාලවයස්කාර දැරිය සමඟ වසර දෙකක සිට මුහුණුපොත ඔස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී සැකකරු ඇය රවටා දඹාන ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැගෙන ගොස් මාස තුනක් රඳවා තබාගෙන ඇති බවත් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
එහිදී දැරිය දූෂණයට ලක්වී ඇති අතර මේ වන විට දැරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව දැනුම් දුන් පොලිසිය ඇය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
වසර දෙකක ප්‍රේමයෙන් පසුව මේ දැරියට නිට්ටඹුව ප්‍රදේශයේ ඇඟලුම් වෙළඳසලක් ඉදිරිපිටට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති සැකකරු ඇය රවටා දඹාන ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ දැරියගේ වැඩිහිටියන් කිසිවෙකුට හෝ නොදන්වා බවත් සඳහන්.
කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.
නිමන්ති රණසිංහ
වාරණ ආනන්ද ඉ.ජයකොඩි
ලංකාදීප පුවත්පත
