728x90 AdSpace

Latest News
Thursday, 8 April 2021

“අයියා පැවිදි වූ අවස්ථාවේදී මටත් ඒ මොහොතෙම පැවිදි වෙන්න හිතුණා.” - නිවනට ළංවෙන්න අයියගේ අඩිපාරෙන් ගිය මල්ලී - ගමක් සංවේදී කළ පුවත මෙන්න

වැඩිමල් සහෝදරයා පැවිදි දිවියට ඇතුළත්ව සිටින අයුරු දැක ආශාවක් ඇති වූ බාල සහෝදරයාද දින 43කට පසු ඉකුත් 04දා පෙරවරුවේ සසුන් ගත වූ බව ඇහැළියගොඩ නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානාධිපති ගින්නලියේ රතනසාර නාහිමියෝ පැවැසූහ.

මෙලෙස මාකූරේ ජිනසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ග්‍රාමයේ පදිංචි 11 හැවිරිදි ආර්.ඩී. ජනිත් චමුපති කුමාර ගුණරත්න නමැති කුල දරුවෙකි.

මෙම කුල දරුවාගේ වැඩිමල් සහෝදරයා වූ 12 හැවිරිදි ආර්.ඩී. විමුක්ති දිල්ෂාන් කුමාර ගුණරත්න කුල දරුවා ඉකුත් පෙබරවාරි 20දා මාකූරේ විපුලසාර නමින් නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි විය.

සාසනයට ඇතුළත් වූ අයියා මලෝ දෙදෙනා වන මාකූරේ විපුලසාර හා මාකූරේ ජිනසිරි සාමණේර හිමි දෙනම දැනට ඇහැළියගොඩ නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානයේ වැඩ වෙසෙති.

මෙම සාමණේර හිමි දෙපළගේ මවුපියන් වන්නේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ග්‍රාමයේ පදිංචි යුද හමුදාවේ සේවය කොට විශ්‍රාමික ඩී.ආර්. මහින්ද කුමාර ගුණරත්න මහතා හා කුවේට් රාජ්‍යයේ සේවය කරන වී. නදීකා ලක්මාලි ස්වර්ණ කාන්ති මහත්මියයි.

ඇහැළියගොඩ නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ ඉලුක්තැන්නේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේගේ පළමු වර්ෂ පූර්ණ පින්කමේදී වැඩිමල් සහෝදරයා පැවිදි කිරීමේ පින්කමට බාල සහෝදරයා වූ 11 හැවිරිදි ජනිත් චමුපති කුමාර ගුණරත්න ඇතුළු පවුලේ ඥාතීන් සහභාගි වී තිබිණි.

වැඩිමල් සහෝදරයා පැවිදි කරන අයුරු බලා සිටීමෙන් හා පැවිදි කිරීමෙන් පසුව වැඩ වාසය කරමින් සිටින අයුරු දැක ඇති බාල සහෝදරයා වූ ජනිත් චමුපති කුමාර ගුණරත්න කුල දරුවා සිය පියා වූ මහින්ද කුමාර ගුණරත්න මහතාගෙන් ඉල්ලා සිටියේ තමාද අයියා පැවිදි වූ විහාරස්ථානයේ පැවිදි කරන ලෙසය. භාවනා මධ්‍යස්ථානාධිපති ගින්නලියේ රතනසාර නාහිමියන් මුණගැසුණු මහින්ද කුමාර මහතා තමන්ගේ සිවුවැනි දරුවාද පැවිදි කරන ලද ඉල්ලීම අනුව ඉකුත් මාර්තු මස 15දා සිය දරුවා විහාරස්ථානයට රැගෙන ගොස් නතර කළේය.

පසුව ඉකුත් 04දා ඇහැළියගොඩ නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානය, කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර රජමහා විහාරස්ථානයන්හි අධිපතිත්වය දරන ගින්නලියේ රතනසාර නාහිමියන්ගේ 54 වැනි ජන්ම දිනයදා ජනිත් චමුපති කුමාර ගුණරත්න දරුවා මාකූරේ ජිනසිරි නමින් පැවිදි කෙරිණි.

පැවිදි වීමෙන් අනතුරුව මාකූරේ ජිනසිරි සාමණේර ස්වාමීන් වහන්සේ මෙසේද පැවැසූහ.

''අයියා පැවිදි වූ අවස්ථාවේදී මටත් ඒ මොහොතෙම පැවිදි වෙන්න හිතුණා. පස්සේ මම තාත්තට ගෙදර ඇවිල්ලා කිව්වා. තාත්තා ලොකු හාමුදුරුවෝ එක්ක කියලා තියෙනවා. ලොකු හාමුදුරුවෝ මට විහාරස්ථානයට එන්න කියලා ලොකු හාමුදුරුවන්ගේ උපන් දිනය දවසේ මාකූරේ ජිනසිරි නමින් පැවිදි කළා. මම හොඳට අධ්‍යාපන කටයුතු වගේම බණ දහම් ඉගෙන රටට වැඩදායක ස්වාමීන් වහන්සේ නමක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.''

දමුණුපොළ - චමින්ද ජයලත්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “අයියා පැවිදි වූ අවස්ථාවේදී මටත් ඒ මොහොතෙම පැවිදි වෙන්න හිතුණා.” - නිවනට ළංවෙන්න අයියගේ අඩිපාරෙන් ගිය මල්ලී - ගමක් සංවේදී කළ පුවත මෙන්න Rating: 5 Reviewed By: lakmina