සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී පුද්ගල මළසිරුරක් 30 වැනි දින අලුයම සීගිරිය පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම ඝාතනය සිදු කොට ඇතැයි පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු සහ ඔහුගේ බිරිය තියුණු ආයුධය ද සමඟ 30 දින අලුයම සීගිරිය පොලිසියට භාර වී ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අනූෂ උදය කුමාර නමැති නෑබැට, අලුත්ගම, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු බවට හඳුනාගෙන තිබේ.
පොලිසියට භාර වී ඇති සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අයකු සහ ඔහුගේ බිරිය සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවෙසක පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.
කාලයක් තිස්සේ ගුවන් සෙබළාගේ බිරිය සමඟ මියගිය පුද්ගලයා ඇසුරක් පවත්වා තිබෙන බව එම ඇසුර නිසාම මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබළා නිවෙසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමඟ සීගිරියේ පදිංචියට පැමිණ දින පහළොවකට ආසන්න වන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලිසියට භාර වූ යුවළ ප්‍රකාශ කොට ඇතැයි පොලිසිය කියයි.
ඝාතනය සිදු වූ ස්ථානයට ගිය දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා, සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව, අපරාධ අංශයේ ස්ථානාධිපති එච්.එම්. හේරත් යන මහත්වරු සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකළහ.
මෙම පුද්ගලයන් රැඳී සිටි බව කියන නිවෙස ද පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක්විය. නිවෙසේ සිට මීටර් 200ක් පමණ දුරින් සීගිරිය පව්ව ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල ගෙල කපා ඝාතනය කොට තිබූ පුද්ගල මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් පොලිසිය මේ වනවිට දඹුල්ල මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව මහතා වැඩිදුරටත් පැවැසීය.
දඹුල්ල - කේ. කේ. ආරියදාස
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත..
